Monday, October 18, 2010

සංගීතයේ සොඳුරුතම නිමේෂය

ඒ මම උසස් පෙළ පන්තියෙ ඉන්න කාලේ. එදා අනිවාර්යයෙන්ම බ්රහස්පතින්දා දවසක් කියල නම් විශ්වාසයි. මොකද මම ක්රීඩා පුහුණුවීම්වලට ඉස්කෝලෙ නැවතුනෙ බ්රහස්පතින්දා නිසා. එදත් පහට විතර පුහුණුවීම් ඉවරවෙලා එනකොට හොඳටම වැස්ස. යන්තම් මරදානෙන් බස් එකක එල්ලිලා පිට කොටුවට ආවේ, කාර්යයාල වෙලාවට බස් එකේ මොරටුවට හිටගෙන එනවා කියන්නේ තවත් ක්රීඩා පුහුණුවීමක් වගේ නිසයි.

බස් එ‍කේ පොල් පටවලා වගේ සෙනඟ. මහ වැස්සෙ ඉක්මනට ගෙදර යා ගන්න සොබා දහමත්, පොදු ප්රවාහනයත් එක්ක ‍පොරබදින මල්ලවපොරකරු‍වො වගෙයි මට ඒ සෙනඟ පෙනුනෙ. ඒ දවස්වල වැඩි හරියක් තිබුණේ පොඩි රෝසා බස්. දැන් නම් ඒවාට මාර්ග බලපත්ර දෙන්නෙ නැති නිසා ඔක්කොම තියෙන්නෙ ලොකු නැව් වගේ ලේලනඩ් බස්.

මොර සූරන වැස්සක් කියලා කියන්නෙ එදා තිබ්බ විදියේ වැස්සකට. වැහි අඳුර අතරෙන් පේන විදුලිය අහසේ ලස්සන රේඛා රටා මවන්නෙ, වැස්ස වළාහක දෙවියෝ අහසේ අඳින රිදී ඉරි වගෙයි. ඊට පස්සෙ දෙවියො තමුන්ගෙ බල පරාක්රමය පෙන්නන්න වගේ මේඝ ගර්ජනා කරනවා. ඒ හඬට බයෙන්, පාරේ බස් නැවතුම්වල ඉන්න වැඩ ඇරිලා යන ගෑණු ළමයි ඇස් තද කරගෙන කණ් දෙක වහගන්නෙ හරිම අසරණ විදියට.

බස් එකේ ජනේලය අස්සෙන් එන වතුර බින්දු මගේ බෑග් එක උඩට ටොක් ටොක් ගාලා වැටෙනවා. තෙමීගෙන බස් එකට නගින මිනිස්සු, ලේන්සුවලින් තරඟෙට වගේ තෙම්ච්ච ඔලු පිහදාන‍වා. අනෙක් අයගෙ, කුඩවලින් ‍බේරෙන වතුර පුංචි දිය පාරක් වගේ බස් එකේ බිම දිගේ ගලා ගෙන යනවා. වැස්සේ හඬ පරයමින්  `පස්සට යන්න, පස්සට යන්න` කියලා උස් හඬින් කෑ ගහලා, මිනිස්සු බස් එක ඇතුලේ ගාල් කරගත්ත කොන්දොස්තර `හරේ යං` කියුවා. බස් හෝල්ට් එකේ ඉහළින් වැටෙන වැස්සෙන් බේරෙන්න උත්සාහ ගන්න මිනිස්සුන්ට, `චරාස්` ගාගෙන පහළින් මඩ වතුර පාරක් ඉහගෙනම බස් එක ඉගිල්ලුනා. ඒකෙන් බේරෙන්න දුර පැනීම් කළ ‍බොහෝ දෙනෙක්, පරාජය භාර ගන්න අකැමැත්තෙන් වගේ බස් එක යන දිහාවට අත දික් කරමින් රියදුරුගෙ මව් පියන්ට පිං දෙනවා වම් පැත්තෙ ජනේලයෙන් මට පෙනුණා.

කොහොමින් කොහොම හරි බහින්න ඕන තැන ළං වුණා. වැස්ස තවත් තද කරලා. කලුවරයි. අම්මා උදේ කුඩයක් අතට දුන්නත් උසස් පෙළ කාලෙදි හැදෙන පණ්ඩිතකම කියන ලෙඩේ නිසා ඒක අරං ආවේ නැහැ. මම බස් එක නවත්තන්න වේගෙ අඩු කරද්දිම, පා පුවරුවෙන් පැන්නා. ඒ වේගෙටම දුවලා ගිහින් පාර අයිනෙ තිබුණ සුපර් මාකට් එකේ හුඩ් එක යටට රිංගලා, ලේන්සුවෙන් ඔලු පිහිද පිහිද හිටපු මිනිස්සුන්ගෙ ගොඩට එකතු වුණා. අමතර පන්ති ගිහින් එන ලස්සන ගෑණු ළමයකුත් පාසල් නිල ඇඳුම පිටින්ම ඒ ගොඩේ හිටපු නිසා තෙමී ගෙන මීටර් 400 දුවලා ගෙදර යන්න තිබුණ හදිස්සිය නැවතුනා.

මිනිස්සු ඔක්කොම වැස්සට සාප කර කර අහස දිහා බලන් ඉන්නෙ කොයි වෙලාවෙ වැස්ස පායයිද කියලා. විදුලිය මුලු පළාතම එළිය කරනවා. විදුලි ගහන පාරක් පාරක් ගානෙ මම අර ගෑණු ළමයගෙ ටෝච් එකක් ගහල වගේ එළිය වුණ මූණ දිහා බලනවා. බයවෙච්ච හා පැටියෙක් වගේ ඒ ළමයා ඇස් කණ් පියාගන්නවා.

ඔන්න ඒ අස්සෙ තමයි රැවුළයි වවාගත්ත කිලුටු ඇඳගත්ත හිඟන්නෙක් ඔතනට පහත් වෙන්නෙ. අවුල් වෙච්ච කොණ්ඩෙන් වතුර බේරෙනවා. සුපර් මාර්කට් එක දිහාවට මිනිහා හෙමින් හෙමින් ඇදුණේ කිසිම වැස්සක් වහින්නෙ නැහැ වගෙයි. විශාඛාවට පස්සෙ, වැස්සෙ ඒ වගේ ඇවිදින්නෙ මේ මනුස්සයා විතරක්ම වෙන්න ඇති කියලා මට හිතුණා.

රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්ටු පත්තු කරනවා වගේ, වැස්සෙන් බැට කන වෙලාවෙ හිඟා කන්න එන මේ මිනිහාව සතේකට මායිම් නොකළ තෙතබරිත වුණු මිනිස්සු, අහස දිහාම බලා ගෙන හිටියා. පුදුමයකට වගේ අහක බලා ගත්ත මිනිස්සුන්වත් සතේකට ගණන් නොගත් හිඟන්නා සුපර් මාර්කට් පඩිය උඩ වාඩි වෙලා ඔලෝගුව ඇතුළෙ මොනවදෝ හොයන්නට වුණා. දවසේ ආදායම ගණන් කරන්න කාසි අහුරක් ඔලෝගුවෙන් ගනියි කියලා බලා හිටපු මට, ඉක්මණින්ම මගේ අදහස වෙනස් කර ගන්න සිද්ධ වුණා. කාසි වෙනුවට ඔලෝගුවෙන් එළියට ආවෙ මවුත් ඕගන් එකක්.

මවුත් ඕගන් වාදනය කරලා සල්ලි හොයන හිඟන්නෙක්ගෙ පෙන්ම මේ මනුස්සයට තිබුණෙ නැහැ. මේ මිනිහා මවුත් ඕගන් ගහලා මෙතනිනුත් කීයක් හරි හොයාගන්නද යන්නෙ වගේ හැඟීමකින් මිනිස්සු හොරැහින් හිඟන්නා දිහා බැලුවා. ඒත් මේ හිඟන්නට නම් වට පිටාව ගැන කිසි හැඟීමක් තිබුණෙ නැහැ.

මවුත් ඕගන් එක අතැඟිලිවල රඳවගෙන මේ මහලු මිනිහා වාදනය ආරම්භ කළා. ජෝතිපාලගේ ගීතයක් මියුරු හඬින් වාදනය වෙන කොට වැස්සට සාප කරමින් රැඳී හිටපු අය ඔහුගේ ශ්රාවකයන් බවට පත් වුණා. මහල්ලාට නම් වට පිටාව ගැන කිසිම හැඟීමක් නැහැ. ඔහු ඔහුගේම ලෝකෙක තනි වෙලා වාදනය කරනවා. ටිකින් ටික මිනිස්සුත් වැස්ස ගැන හැඟීමෙන් මිදිලා අපේ වාදකයාත් එක්ක ඒකාත්මික වෙලා. වාදකයා දෑස් පියාගෙන නොනතවා වාදනය කරන්නෙ ලෞකික බැඳීම්වලින් එහා වෙනත් තලයක හිඳගෙන වගෙයි මට දැනුණෙ. වැස්ස, විදුලිය, අඳුර, සීතල, මවුත් ඕගන් වාදනය හා එක්ව අපූරු සෞන්දර්යයාත්මක වටපිටාවක් මැව්වා. මහල්ලා තමාගේ මවුත් ඕගන් වාදනයෙන් ඉහල ආත්ම වින්දනයක් ලබමින්, විඩාබර මිනිසුන් සංගීතයෙන් මෝහනය කළේ, දෙව් ලොවින් බට පන්සිලු වීණා වාදනයක් කරන්නා වගේ. විවිධාකාර සංගීත විඳ තිබුණත්, මා වඩාත්ම මෝහනය කළ සංගීත සුයාමය වාදනය වෙමින් තිබුණා. සංගීතයෙන් ඒකාත්මික වන හිමාල යෝගීන් ගැන කියවූ මට හිතෙන්නේ එදා නම් ආවේ ඒ වගේ කෙනෙක් කියලා. ඒත් එහෙම නොවන වග මම දන්නවා. ඒ මොහොත සංගීතයේ චමත්කාරයෙන් මත්වුණු දිව්යමය මොහොතක්.

වැස්ස අඩුවුණ නිසි අපේ මහා සංගීතවේදියාට සමු දුන් මම, සොබා දහම මවපු සංගීත වේදිකාවෙන් නික්මිලා ගෙදර ගියා. ඉන් පස්සෙ කවදාවත් මේ මහල්ලව මම දැක්කේ නැහැ.

අදටත් මම විඳපු සෞන්දාර්යයාත්මකම සංගීතමය නිමේෂය මහ වැස්සෙ, සුපර් මාකට් පඩිය උඩ, ඒ හිඟන්නගෙන් අහපු චමත්කාරජනක සංගීතයමයි. ඕනම කලාවක් නිර්මාණය වුණේ කලාකරුවගේ ආත්ම වින්දනයට කියලා මම හිතන්නෙ ඒකයි. කලාකරුවා ප්රේක්ෂකයො හෝ ශ්රාවකයො හෝ තමාගේ ආත්ම වින්දනය හා ඒකාත්ම කර ගන්නවා. ඒක සංගීතය, චිත්ර, නැටුම්, සාහිත්යය විතරක් නෙවෙයි සටන් කලාවට වුණත් පොදුයි.

අද කාලේ තියන සින්දු, සංගීතය, ඒවා කියන ඒකාටවත් විඳින්න බැහැ. ඒවයෙ විඳින්න රහක් නැහැ. ඒත් රූපවාහිනී, ගුවන් විදුලි, බස් සිංදු මගින්, බලෙන්ම ඒවා විඳවන්න නම් අපිට අවස්ථාව නිතරම වගේ ලබා දෙනවා. අද ඉන්න ඩීජේලාවත් ඔවුන්ගේ නිර්මාණවත් මගේ හිතේ රැඳෙන්නේ නැහැ. ඒත් මේ මහලු වාදකයා හා ඒ චමත්කාරජනක නිමේෂය අදත් මගේ හිතේ සටහන්ව තියෙනවා විතරක් නොවෙයි, අදටත් බාහිර ලෝකයෙන් මිදුණු දිව්යමය අත්දැකීමකට ගෙනියන්න ඒ මතකයට පුලුවන්.

Friday, October 15, 2010

කාලෙකට පස්සෙ ටීවී බැලුවා. ආතල් කෝටියයි.

කාලෙකට පස්සෙ ටීවී බැලුවා. ආතල් කෝටියයි.

එහෙක කියනවා අත හෝදන්නෙ නැතිව ලෙඩ වෙන සහ මැරෙන උන්ගෙ ගාණ, වෙනත් ලෙඩ වලින් මැරෙන උන් ගාණට වඩා සෑහෙන වැඩිලු. අනික් ලෙඩවලින් මැරුණ සහ ලෙඩ වුණ අය නම් මම ඕන තරම් දන්නවා. ඒත් අත හෝදන්නෙ නැතිව මැරුණ එකෙක් ජීවි‍තේට අහල නැහැ. සබන් කොම්පැණියකින් අත හෝදන හැටි කියලත් දෙනවා. උන් හිතන් ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ අප්රිකාවෙ කැලේක මැද ඉන්න ‍හුදකලා ගෝත්රිකයො සෙට් එකක් කියලද කොහෙද.

තව එහෙක කියනව හැම තත්පර 30කට පාරක්ම පාචනය නිසා කුඩා ළමයෙක් මිය යනවලු. ඒ විදියට බැලුවොත් දැන් ‍ලෝකෙ පොඩි උන් නැහැ. පොඩි උන් ඔක්කොම පාචනෙන් මැරිලා.

තවත් ඇඩ් එකක රෙදි හෝදන එක්සෙල් කුඩු චුට්ටක් දාලා මිනිත්තු‍වෙන් ඇඳුම්වල ඔක්කොම පැල්ලම් යවනවා මැජික් එකකින් වගේ. පිස්සු බම්පින් ඒ ඇඩ් එක දැක්කම. එක්සෙල් කුඩු පැකටි එකම හලල, පැයක් අතුල්ලත් ස්කූල් යුනිෆෝම් එකක තියෙන පොඩි දූවිලි පැල්ලමක්වත් යවන්න බෑ.

රූපවාහිනී, අයිටීඑන් දෙකන් ආණ්ඩුවෙ වාර්තා අහන්න ඕන නැති නිසා, ප්රයිවට් චැනල් දෙකක නිව්ස් බැලුවා.

7 ට ත්රිකෝණ ලකුණක් තියෙන චැනල් එකක ගිය නිවුස් බැලුවා. ඒකෙ නිව්ස් කියලා කියන්නේ ශ්රී ලංකන් දේශපාලන වැඩසටහනකට. ප්රසිඩන්ටිගෙ වැඩකිඩ, එස්එෆ්ගෙ නඩු, එක එක දේශපාලන ඩයල් කියපු ගොන් කතා, සජිත්ගෙ බිම් මට්ටම හා ගම් මට්ටම, රනිල්ගෙ ප්රජාතන්තරවාදෙ, 1 8, ප්රතිසංස්කරණ. ඔය ටික කියුවම නිව්ස් ඉවර වුණා. රටේ ලෝකෙ වුණු ප්රවෘත්ති කියන්න වෙලාවක් ඉතුරු වුණේ නැහැ.

ඒක නිසා රටේ ලෝකෙ සිද්ධ වුණු දේවල් බලන්න ‍‍ආයෙත් ‍මොණරෙක්ගෙ ලකුණක් තියෙන චැනල් එකක 8 ට ගිය නිවුස් බැලුවා. ඒකෙත් අර දේශපාලන වැඩසටහනම ගියා. කොණ්ඩෙ ‍ජෙල් කරපු ඇමති කෙනෙක් කියනවා `රටේ ස්වෛයිරීභාවය සුරකින්න පාන් කන එක නවත්තන්න ඕන නිසා, පාන් ගණන් ගිය එක ෂෝක්ලු. ප්රංශෙ හිටිය මාරි ඇන්ටොයිනට් කියලා රැජිනක් ගොන් කමට කියුවලු `පාන් නැත්තම් ‍කේක් කාපල්ලා` කියලා. මේ හරකත් කුඹුරක මී හරක් පස්සෙන් යන ගමන් `පාන් නැත්තම් බත් කාපන් ` කියලා අපිව ගොනාට අන්දන්න හදනවා. මුන් වැලේ වැල් නැතිව කැලේ හිටි කා‍ලේ කෑවෙ බත්ද? අදටත් මුන් පාටිවලට ගිහින් ගිලින කට්ලට්, පැටීස්, සැන්විච් හාල් පිටිවලින් හදපුවද? මුන්ගෙ ළමයි උදේට කන්නේ, ඉස්කෝලෙ ගෙනියන්නෙ රතු හාලේ බත්ද? ඕවා කතා කරන්න ගියොත් මේ සටහන වෙන පැත්තකට ගිහින් දේශපාලන සටහනක් වෙනවා. දේශපාලන සත්වයෝ දේශපාලන කමෙන්ට්ස් දාන්න ගන්නවා. ඒක නිසා ඒ පාන් කතාව මෙතනින් නවත්තනවා.
ඒ නිව්ස්වල තව තව ගො‍ඩක් ඒවා ගියා. ප්රවෘත්ති නම් ගි‍යේම නැහැ. ඒකෙ නිවුස්  හරියට ‍පොඩි ඩොකියුමෙන්ටරි ප්රෝග්රෑම්ස්වල එකතුවක් වගේ. හිරකාරයෙක් හිරේට ගිය විදිය නාට්යානුසාරයෙක් පෙන්නුවා.

ඒ නිවුස් ටීම් එක රජ වැඩකාරයො. ලංකාවෙ අද වෙච්ච ලොකුම වැරැද්දත් ‍කොහොම හරි වීඩියෝ කරල පෙන්නුවානෙ. මොකක්ද දන්නවද අද ලංකාවේ වෙච්ච දවසේ වැරුද්ද? ඒක තමයි අහිංසක කෙල්ලෙක් අම්මත් එක්ක කහ ඉරි නැති තැනින් පාර පැනපු එක.

චැනල් දෙකේම බලපු නිවුස්වල පොදු තැන් තිබුණා. පොදු සාධක එළියට ගත්තම, මැද  බින්දුව. වැඩි කළාම උත්තරේ බින්දුවයි. නිව්ස් නැහැ.

මේවා තමයි පොදු තැන් ;
1. නිවුස් කියන්නේ ලංකාවේ දේශපාලනයට.
2. නිව්ස් කියන්නේ ලංකාවේ සිද්ධ වුණු දේවල් වලට විතරයි. ලෝකෙ වෙන රටක වැදගත් කිසිම දෙයක් වෙලා නැහැ. ලංකා‍වේ ඉන්න වුන් ළිං මැඩි‍‍යො කරන්නෙ මුන් තමයි.
3. ක්රීඩා පුවත් = ක්රිකට්

ඊට පස්සෙ ටෙලි නාට්ය දෙකකුත් බැලුවා. ඒවා ගැන ලියන්න ගියොත් නම් මට පිස්සු තද වෙලා අංගොඩ ඇඩ්මිට් වෙන්න වෙනවා ෂුවර්. ඒ නිසා ටෙලි නාට්ය ගැන ලියන්න යන්නෙ නැහැ.

ආයෙත් කවදා හරි ටීවී බැලු‍වොත් අනිවාර්යයෙන් විස්තර කියන්නම්.

නිමි ෴