Thursday, December 30, 2010

තුංහුලස්෴



අළුත් අවුරුද්දට පේව්මන්ට් එකේ විකුණන්න තියෙන් තුංහුලස් රත්(බට්ටෝ) දැක්කම, පොඩි කතාවක් මතක් වුණා
අපේ කැම්පස් එකේ, මට බැච් දෙකක් විතර පහළින් ගෑණු ළමයෙක් හිටියා. අපි දාමුකො නමක් `නිරෝෂා` කියලා.
වචන දහයක් කතා කළොත්, අඩු ගාණෙ තුනක් ඉංග්රීසියෙන් කියලා, අගට `යා!  යා!!  යා!!! ` කියලත් කියනවා. සිංහල `බේ` වගේ තමයි. කතාවෙන් බැරිස්ටා වුණාට, බොන්නෙ කැන්ටිමේ දෙකයි පනහෙ ප්ලේන්ටිය තමයි.
එයාගෙ ඉස්කෝලෙ විශාකාද කියලා, ගොඩක් අය අහනවා. ඒත් ගිහින් තිබුණේ කොළඹින් පිට වැඩිය අහලා නැති ඉස්කෝලෙකට.
හැබැයි එෆ් එම් නාලිකාවල වැඩ කරන නංගිලාගේ වගේ බොරු කඩ්ඩ නෙවෙයි, ‍ඇත්තටම කඩ්ඩ හොඳට පුළුවන්. ඒවගේම හරි හිත හොඳ ගෑණු ළමයා.
දවසක් කැන්ටිමේ කෑම ගන්න‍ පෝළිමේ ඉන්න කොට මේ ළමයා මගේ පිටි පස්සෙන් පෝළිමේ ඉන්නවා. මම සම්සා එකයි ටී එකයි ගත්තා. සම්සා කියන්නේ අර ත්රිකෝන හැඩේ තියෙන කෑම ජාතිය. සමහරු සමෝසා කියලත් කියනවා තමයි.
මෙයාටත් සමෝසා කන්න ආසාවක් ආවත්, ඒකට කියන නම දන්නෙ නැහැ. මෙයා ටිකක් සිංග්ලිශ්නෙ.
ඉතින් මෙයා මගෙන් හෙමින් අහනවා `අයියා! අයියා!! ඒවාට මොනව කියලද කියන්නෙ?` කියලා.
මාත් ඇඟට පතට නොදැනිම කියුවා `ඒවට කියන්නෙ නංගි, තුන්හුලස් කියලා`. කියුවා නෙවෙයි කියවුණා.
මෙයා මෙන්න මෙහෙම මහ හයියෙන් තාලෙට කැන්ටිමේ මුදලාලි ගෙන් සමෝසා ඉල්ලනවා.
`අංකල් . . . මට තුන්හුලස් එකයි, ප්ලේන්ටියයි දෙන්න . . .`

 

Thursday, December 2, 2010

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. . .

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් තියෙනවා අහලා ඇතිනේ. ඒත් දැන් ඉන්න පාසල් ළමයි විෂය නිර්දේශයට පිටින් අමතර පොතක් කියවන්නෙම නැහැ. ඒ කාලෙ අපිට කම්පියුටර් නැහැ. ටීවි චැනල් තිබ්බෙත් දෙකයි. ඒවාත් පහට පටන් අරගෙන, නවයහමාරට වැඩසටහන් නිමා වෙනවා. ඉතින් සෙල්ලම් නොකරන වෙලාවට පොතක් කියවනවා ඇරෙන්න කරන්න වෙන වැඩක් අපිට තිබුණෙ නැහැ.

දැන් මමත් පොත් කියවනවා හරිම අඩුයි. හැබැයි අන්තර්ජාලයෙන් නම් විවිධ දේ කියවනවා. ඒකෙ ගොඩක් හොඳ පැති තියෙනවා. නොදන්න ගොඩක් දේවල් සහ විවිධ මාතෘකා ඔස්සේ ලියපු විවිධ අදහස් පහසුවෙන් කියවන්න පුලුවන්. ඒත් සාහිත්‍යමය වටිනාකමක් තියෙන නවකතාවක් කියවන පුරුද්ද නම් නැවතිලා.

අපි පොඩි කාලේ රුසියාව, චීනෙ වගේ රටවල් ලංකාවට ගොඩක් උදව් කළා. කේජීබී ඔත්තුකාරයොත් නොහිටියා නෙවෙයි. බණ්ඩාරණායක සම්මන්ත්රන ශාලාව, ටයර් සංස්ථාව, වානේ සංස්ථාව වගේ කර්මාන්තශාලා, රටේ කර්මාන්ත සංවර්ධනයට නොමිලයේ දෙන ගමන්, සිංහලට පරිවර්තනය කරපු කතා පොත් ඒ රටවලදිම මුද්රණය කරලා ලංකාවට ගොඩක් අඩු මිලට එව්වා. ඒ කර්මාන්තශාලා ඔක්කොම වගේ පස්සේ ආපු දේශපාලනඥයෝ නිකම්ම වගේ විකුණලා දැම්මා.

මීෂා, සෝව්යට් වුමන්, චයිනා ටු‍ඩේ වගේ සඟරා ගොඩක් අඩු මිලට ලංකාවට ආවා. ඒ කාලේ තැපෑලෙන් ගෙදරටම ආපු මීෂා, සෝවියට් වුමන් සඟරා තාමත් අපේ ගෙදර තියෙනවා. රුසියන් රාදුගා ප්රකාශකයන්ගෙ වැඩ බැරි දාසගේ කතා, ලස්සන පිංතුර තිබ්බ රන් පොරොව, ජිංසෙං කුමාරි, අලුත් පාලමේ කතාව වගේ චීන පොත්, සමහර සමකාලීන මිතුරන්ට නම් මතක ඇති.

ඇමරිකාවට කඩේ යන අය දැන ගන්න ඕන දෙයක් තමයි, ඇමරිකාවෙන් කඩදාසි කෑල්ලක්වත් අපිට නිකං හම්බවෙලා නැති බව. නිකං වගේ දෙනව නම් තමයි. පස්සෙ තමයි බිල එන්නෙ. ඇමරිකන් හිඩ්න් චාජස් ව්‍යාපාර සංස්කෘතියෙ හැටි එහෙම තමයි.

දැන් කාලෙ ළමා පත්තරයක් ගත්තොත් ඒවයේ කියවන්න දෙයක් නැහැ. ඒකෙ තියෙන්නෙ පාඩම් සහ අභ්‍යාස විතරයි. මෙගා නාට්‍ය බලන අපේ අම්මලත්, පොඩි උන් අමතර පොතක් කියවනවට කැමති නැහැ. `ඔය කතා පොත් විසි කරලා, පාඩම් වැඩක් කර ගන්නව ළමයො``, කියලා ටීවි එක දිහා බලාගෙනම අම්මලා කෑ ගහනවා.

‍අපි පොඩි කාලේ කියවන්න තිබ්බේ ළමා පත්තර දෙකයි. ලේක්හවුස් එකෙන් ගහපු අතුරු මිතුරු පත්තරෙයි, උපාලි එකෙන් ගහපු බිංදු පත්තරෙයි. හැබැයි ගණන් අභ්‍යාස වෙනුවට, ඒවයේ කියවන්න ගොඩක් දේවල් තිබ්බා.

ජේවීපී කාලේ ලේක්හවුස් පත්තර මිලදී ගැනීමට ‍ජේවීපී කැළෑ තහනම දාපු කාලේ, රීගල් එක ඉස්සරහ පේව්මනට් එකෙන් ගන්න අතුරු මිතුරු පත්තරේ, තාත්තා කමිසේ ඇතුළෙ දාගෙන හංගගෙන ගේනවා තාමත් මට මතකයි.

දැන් ජේවීපී කරන කැම්පස් කොල්ලෙක්ගෙන් දාස් කැපිටාල් ගැන ඇහුවොත්, ඒක කොහේ අගනුවරද කියලා අහනවා. ඉස්සර `කියුබාවට අත නොතබනු` කියලා පෝස්ටර් ගහපු අය, දැන් කියුබාව තියෙන්නේ මොන මහද්වීපෙද කියලවත් දන්නෙ නැහැ. කාල් මාක්ස් කියුබන් කාරයෙක් කියලා හිතාගෙන ඉන්න ඒ අය, චේ ගුවේරා මළේ කියුබන් විප්ලවේ කරන්න ගිහින් කියලා හිතන් ඉන්නවා. ඒත් ස්ටයිල් එකට චේ ගුවේරා ෆොටෝ එකක් කාමරේ ගහන් ඉන්නවා. ලොකු නන්ස්ටොප් කයිවාරු නම් ගහනවා, උන් තරම් දන්න උන් ඉතිහාසෙවත් හිටියෙ නැහැ වගේ.

කැම්පස්වල දැන් ඉන්න ගැහැණු ළමයි කියවන්නෙ `රතු රෝස, නිල් මහනෙල්, සුදු ඕලු` වගේ මල පොත්. පාසල් ගුරුවරියො කියවන්නෙත් මේවම තමයි. ළමයන්ටත් ඉතින් මල් සරණයි. මේ අය ටෝල්ස්ටෝයි, ගෝර්කි, චෙකොෆ්, ගී ද මොපසාං, වික්ටර් හියුගෝ, හෙමිංවේ වගේ නමක් අහලවත් නැහැ ඒ තියා සමහරු මාර්ටින් වික්රමසිංහව දන්නෙත් නැහැ.

ළඟදි මගේ විදේශිය මිතුරෙක් හරි වටිනා අදහසක් ලියලා තිබුණා. කෙනෙක් රෑ කෑමෙන් පස්සෙ සාමාන්‍යයෙන් විනාඩි 30කට වැඩිය විවේකීව ඉන්නවා. දැන් නම් පැය ගණන් මෙගා නාට්‍ය බලනවා. ඒ කොහොම වුණත් දවසකට පොතක් කියවන්න විනාඩි 15ක් හොයා ගන්න කෙනෙක්ට අමාරු නැහැනෙ. දවසකට විනාඩි 15 ගාණෙ කියෙවුවොත් අවුරුද්දකදි පොත් 15ක් විතර කියවන්න පුලුවන්. ඒ වගේ අවුරුදු පහක් විනාඩි 15 ගාණෙ දිනපතා කියෙව්වොත්, පොත් හැත්තෑ පහක් කියවලා අවසන් කරන්න පුලුවන්. මේ විදියට වටිනා ලෝක සාහිත්‍ය කෘති හැත්තෑ පහක් කියෙව්වොත්, ඔබට වසර පහකින් රටේ ඉන්න දැන උගත් වියත් උගතෙක් බවට ඉබේම පත් වෙන්න පුලුවන්කම ලැබෙනවා. බොහෝ යුරෝපීය ජාතිකයන්ට හොඳ සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඒකෙ ප්රධානම රහස තමයි, නිතර යමක් කියවීම.

මට විනාඩි 15කුයි, සාහිත්‍ය කෘතියි හොයා ගන්න පුලුවන් නිසා වැඩේ පටන් ගන්න හිතං ඉන්නවා. ඒත් ඒකට බාලගිරි දෝසේ.

මාව ආදර්ශෙට ගන්නෙ නැතිව, ඔයගොල්ලො ‍වැ‍ඩේ පටන් ගන්නකෝ. . .

Saturday, November 20, 2010

කසාදය

හන්දියෙ කඩෙන්
කිරි බීපු කොල්ලා
වැස්සියක් ඇන්න ඇවිත්...
ඌට දැන්
වෙන වැඩක් නැහැ
තණ කොළ කපනවා ඇරෙන්න...

Thursday, November 18, 2010

ඔයයි මායි

ඔයා හරියට
බලු නගුටක් වගෙයි...
මම...
ඒක අල්ල ගන්න බැරුව
වටේට කැරකෙන
බල්ලා ‍වගෙයි...

Saturday, November 13, 2010

අවජා‍තකයෝ෴

අද මම කියන්න යන්නේ ෆොටෝ කතාවක්. ඉස්සෙල්ල ෆොටෝ එක බලල ඉන්නකෝ. මෙන්න ලින්ක් එක.

මොකක්ද බං ඔය ලේන්සුව? ලේන්සු සහ මගේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මගේ පරණ කාර්යාල කාමරේ ඇතුළේ ගෑණු ලේන්සු දෙකක් දාලා ගිහින් තිබුණා. ඒක මොනවා හරි අහගන්න ආපු නොදන්නා ගැහැණු ළමයි දෙන්නෙක් දාලා ගිහිපුවා. කාර් එක ඇතුළෙත් දවසක් ලේන්සුවක් දාලා ගිහින්. ඒක අඳුනන මැදි වයසේ ගැහැණු ‍කෙනෙක් පයින් යනවා දැකලා, පාරට ඇරලපු වෙලාවක දාලා ගිය එකක්. දරුණුම වැඩේ තමයි, මගේ ගෙදර කාමරේ ඇතුළෙත් ගෑණු ලේන්සුවක් තිබ්බ එක. සමහර පිරිමි ළමයි අතට අහුවෙන ලේන්සු පාවිච්චි කරනවා. මේක එහෙම මාව හම්බෙලා කම්පියුටර් වැඩක් කර ගන්න ආ පිරිමි ළමයෙක් දාලා ගිහිපු ගෑණු ලේන්සුවක්. කොහොම වුණත් මේවා ඔක්කොම ගෑණු ලේන්සුනේ. අහිංසක මට තමයි උත්තර බඳින්න වෙන්නේ.

හැබැයි මේ ඡායාරූපේ තියන ලේන්සුව ඔය කියපු ජාතියෙ එකක් නෙවෙයි.

ඒ 1996 අවුරුද්දේ ජනවාරි 31 වෙනිදා. මම ඉස්කෝලේ නවය වසර පන්තියට ආවා විතරයි. අපේ පන්තිය තිබ්බේ ආනන්දෙ පස් මහල් ගොඩනැගිල්ලේ හතර වෙනි මහළේ ආනන්ද මාවත පැත්තට වෙන්න. පස්මහල් ගොඩනැගිල්ලට කොළඹ නගරයේ ලොකු වපසරියක් පේනවා. ලංකා බැංකුවෙ පිට්ටු බම්බු ගොඩනැගිල්ල, වරාය එහෙම, අපි හිටිය හතර වෙනි මහලට හොඳට පේනවා. මගේ තාත්තා ඒ දවස්වල වැඩ කළේ ලංකා බැංකු‍ ගොඩනැගිල්ලෙ නව වෙනි මහළෙ.

එදා පොඩ්ඩක් වැහිබර දවසක් කියලා මට මතකයි. දවල් එක පාරටම `ඩෝං` ගාලා ලොකු සද්දයක් ආවා. ඒ එක්කම `බෝම්බයක් බෝම්බයක්` කියන වචනේ හතර වටින්ම ඇහෙන්න ගත්තා. මගේ ඇඟ හීතලා වෙලා ගියේ, `ලංකා බැංකුවට බෝම්බයක් ගහලා` කියලා කවුදෝ කියනවා ඇහුණු වෙලාවේ. මම පන්තියේ ජනේලෙන් ඒ පැත්ත බැලුවම, ඇත්ත තමයි ලංකා බැංකුව ගාවින් ලොකු කලු දුමාරයක් යනවා. මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා. ගුරුවරු අපිට පන්තියෙන් එළියට බහින්න එපා කියලා පන්ති අඩස්සියේ තියලා, කොරිඩෝ එකේ එහෙට මෙහෙට කළබලෙන් දුවනවා.
ඒ අස්සේ සමහර නසරානි කොල්ලෝ `අඩෝ ‍බෝම්බයක් ගිහින්, ලංකා බැංකුව බිම. හෙට නිවාඩු දෙයි`, කියලා උඩ පනිනවා. ටික වේලාවකින් බෝම්බය ගහලා තියෙන්නේ ලංකා බැංකුවට නෙවෙයි, ඒ ඉස්සරහ තියෙන මහ බැංකුවට බව දැන ගන්න ලැබුණම හිතට ටිකක් විතර සහනයක් ලැබුණා.
ඒ කාලේ බෝම්බයක් ගියහම බයට කොළඹ ඉස්කෝල වැහුවා. මේ නිවාඩු නිසා උඩ පනින කතාව, නොදන්නකමට පොඩ් උන් කියපු කතාවකට වඩා ලොකු දෙයක් කියලා හිතෙන්නේ, එකොළහ වසර සාමාන්‍ය පෙළ පන්තියෙදි, කණට ගැහුවා වගේ පුපුරපු මරදානේ බෝම්බෙ වෙලාවෙත්, සමහර කොල්ලෝ නිවාඩු දෙයි කියලා සතුටු වුණ නිසා. සාමාන්‍ය පෙළ පන්තියෙ ඉන්නෙ බබාලා නෙවෙයිනේ.

අපේම රටේ මිනිස්සු බෝම්බෙකින් මැරෙද්දි, ලංකාවෙ සිංහල බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්රස්ථානය වුණ ආනන්දෙ සමහර කොල්ලො, නිවාඩුවක් ගැන උඩ පනින තත්වෙට පත්වෙන්න කොහේ හරි වැරැද්දක් වෙලා තිබුණා කියලා මට හිතෙනවා. එකක් ඒ උඩ පැනපු බොහෝ දෙනෙක් දුර පළාත්වල අය. ඒ අයගෙ දෙමව්පියෝ කොළඹ එන්නේ නැහැ. අනික ගෙදරින් ඈත් වෙලා කොළඹ නේවාසිකව ඉන්න මේ අය ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ.

ඒත් මේ වගේ පහත් සතුටු වීමකට මීට වඩා කරුණු හේතු වුණා. ඊනියා සාම සාකච්ඡා සහ ‍දෙමළ ඡන්ද ටික ගන්න සිංහල ජාතිය පාවා දුන් දේශපාලන බඩගෝස්තරවාදීන් විසින් සිංහල ජනතාව නිවට ජාතියක් බවට පත් කළා. කාලයක ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් අයින් කළා. ඉතිහාසය නොදන්න එකාට රට ගැන හැඟීමක් තියෙයිද? ඉතිහාසයක් නැති ඇමරිකාවේ පුරවැසිකම ගන්න ඇමරිකන් ඉතිහාස පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕන කියලා මම අහලා තියෙනවා.

සිංහලයෙක්ට තමුන් සිංහලයෙක් කියලා කියන්න බැරි කාලයක් තිබ්බා. දෙමළ මුස්ලිම් මිනිස්සු තමුන්ගේ ජාතිය ගැනි අභිමානයෙන් කතා කරද්දි, සිංහලයන්ව `ශ්රී ලාංකික` ජාතියක් බවට පත් කරලා වඳ කරලා දැම්මා. `මම සිංහලයෙක්` කියලා කියුවොත් ඒ මිනිහට ජාතිවාදියෙක් කියලා ලේබල් ගහනවා. `මේ සිංහල අපගෙ රටයි` ආදී ජාතිකාභිමානී ගීත, ජාතිවාදී ගීත කියලා හංවඩු ගහලා තහනම් කළා. යාපනේ දෙමළ ළමයින්ට ගුරුවරු අන්තවාදී අදහස් ඔලුවට දාද්දි, අපේ අය දුටුගැමුණු චරිතය ජාතිවාදියෙක් කියලා පෙළ පොතෙන් අයින් කළා. දෙමළ ගුරුවරු කෙස් පැළෙන තර්ක එක්ක නිජ බිම් සංකල්පයන් ඒ දරුවන්ට උගන්නලා, සිංහලයො එක්ක වෛරයක් නිර්මාණය කළා. දෙමළ, මුස්ලිම් පාසල්වල සිංහල අකුරක් නූගන්නද්දි, සමහර රජයේ ආයතන බඳවා ගැනීමේ පරීක්ෂණවලදී දෙමළ භාෂා ප්රශ්න පත්රයක්ට මුහුණ දීම අනිවාර්යය කළා. තමුන්ගෙ සහෝදර ජනතාව මරපු ‍ත්රස්තවාදීන්ට ලැජ්ජාවක් නැතිව මුදල් ගෙවලා, සාම ගිවිසුමට මුවා ‍වෙලා යාපනේ ට්රිප් යන ජාතියක් බිහි වුණා. කොටි හමුදා කඳවුර ඉස්සරහට ඇවිත් සරම උස්සලා පස්ස පැත්ත පෙන්නලා හූ කියලා යද්දි, තුවක්කුව අතේ තියන් අසරණව බලන් ඉන්න, හමුදාවට සිද්ධ වුණ කාලයක් තිබ්බා.

දෙමළ ඡන්ද ටික බලාගෙන සිංහල ජාතියට මේ විනාශය සිද්ධ කලේ, සිංහල ඡන්ද අරන් බලයට ආපු දේශපාලඥයෝ. මැලේසියාවේ කියන්නේ මැලේ ජාතිකයන්ගේ නිජ බිම. ඒත් චීන සහ දෙමළ විශාල ප්රතිශතයක් මැලේසියාවේ ජීවත් වෙනවා. එක් කාලෙක ජන සංගණනයකදි චීන ජනගහනය, මැලේ ජනගහණයට වඩා වැඩි බව හෙළි වුණා. ඒ වාර්තා යට ගහලා, මහතීර් මොහොමඩ් භූමි පුත්ර සංකල්පය ගෙනාවා. ඒ අනුව මැ‍ලේ හෝ දෙමළ ජාතිකයෙක් චීන ඉගෙන ගන්න ඕන නැති වුණත්, මැලේසියාවේ ජීවත් වන හැම කෙනෙක්ම, මැලේ භාෂාව ඉගෙන ගත යුතු වෙනවා. මොන විභාගේ සමත් වුණත්, මැලේ අසමත් නම් මිනිහා අසමත්. අදටත් මැලේසියාවේ චීන ජනගහනය, මැලේ ජනගහනයට වඩා වැඩියි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒත් අපේ රටේ සීයට හැත්තෑ හතරක් ඉන්න සිංහලයන්ට කියනවා, සීයට දහහතක් ඉන්න දෙමළ ජනතාවගේ භාෂාව පුරුදු වුණේ නැත්තම් රැකියා දෙන්නෙ නැහැ කියලා. දේශපාලන වාසි සඳහා මේ විදියට ජාතියක් නිවට කිරීමෙන් අවසානයේ ගොඩනැගෙන්නෙ වෛරය. ඒත් දෙමළ ළමයි සිංහල ඉගෙන ගන්නවද කියන එක නම් ප්රශ්නයක්. භාෂාවක් ඉගෙන ගැනීම ගොඩක් වටින දෙයක්. ඒත් ඔය වෙලාව ඉංග්රීසි ටිකක් ඉගෙන ගන්න යොදවනවනම් දෙමළ ඉගෙන ගන්නවට වඩා සෑහෙන්න වටිනවා.

ඒ වගේම විවෘත ආර්ථිකෙත් එක්ක තමුන් ගොඩ ගිහින්, අනික් අයට මොනවා වුණත් කමක් නැහැ කියන සිතිවිල්ල ජනතාව අතර ගොඩනැගුණා. මේ හැම දෙයකම එකතුව තමයි ජාතියක් රටක් ගැන හැඟීමක් නැති, බෝම්බයක් පිපුරුණහම නිවාඩු ලැබෙයි කියලා උඩ පනින විදිහෙ පහත් ජාතියක් බිහි වීම. පාසල් ළමයි විතරක් නෙවෙයි, සමහර වැඩිහිටියොත් බෝම්බයක් පිපුරුණහම, හෙට ඇඳිරි නීතිය දායි කියලා සතුටු වෙනවා.
කිරි බිබී හිටපු අත දරුවන්ව අම්මලත් එක්කම කපලා කොටලා මරන කොට, අරන්තලාවෙ හාමුදුරුවෝ මරා දාන කොට `ආ ඇත්තද? කීයක් මැරිලද?` කියලා සරලව අහන, පොෂ් වෙන්න ට්රයි කරන සිංහල මිතුරියක්, චාල්ස් ඇන්තනි කියන ත්රස්තවාදියා මරපු වෙලාවේ, `චාල්ස් ඇන්තනි පවූ . . .` කියලා කට හදලා, ඇදලා කියුව හැටි මට තාම මතකයි.

කොළඹ පාසල් ගිහිපු, වැඩට ගිහිපු අය අතරින් බෝම්බ හඬක් නෑසුන කෙනෙක් ඉන්නවද? බෝම්බයකින් නෑයෙක් හෝ දන්නා හඳුනන කෙනෙක් තුවාල ලබා හෝ මිය ගිය නැති අයෙක් ඉන්නවද? හමුදාවට ගිය නෑයෙක් තුවාල ලබා හෝ මිය ගොස් නැති අයෙක් ඉන්නවද? අපි උපන් දවසේ හිටන් තිබ්බ මේ යුද්ධෙන් එවැනි අමිහිරි, කටුක අත්දැකීම් නොලබපු අයෙක් ඉන්නවනම් හරිම කලාතුරකින් තමයි.

දැන් ඒ අවාසනාවන්ත තිස් අවුරුදු යුද්ධෙ ඉවරයි. ඒත් අදටත් ඊළඟ බෝම්බයක් පිපිරෙනකම් බලා ගෙන ඉන්න පිරිස් ඉන්නවා. කට්ටියක් යුද්ධය නිසා ගාණක් හොයා ගත්ත අය. කට්ටියක් සාමය වෙළඳාම් කළ එන්ජීඕ කාරයෝ. තව කට්ටියක් විරුද්ධ පක්ෂ දේශපාලන අන්තවාදී අමනයෝ.

රටත් ජාතියත් පුද්ගලයෙක්ගෙ අම්මයි තාත්තයි වගේ. මේ කියන රට ජාතිය හඳුනන්නෙ නැති, ඒ ගැන හැඟීමක් නැති අය, මව පියා නොහඳුනන නිසා අවජාතක රැලක් කියලා හැඳින්වුවට වරදක් නැහැ. තමුන් නොදන්න වරදකට පියා නොහඳුනන දරුවෝ අවජාතක නැහැ ඒ අයට කොහේ හරි තාත්තෙක් ඉන්නවා. ඒත් මේ කියන අමනයො තමයි රටේ උපන් සැබෑ අවජාතකයෝ.

එතකොට මොකක්ද බං ඔය ලේන්සු ෆොටෝ එක?

මහ බැංකුවට ලොරි බෝම්බෙ ගහන්න කලින්, වෙනත් ත්රීවීල් එකක ආපු ත්රස්තවාදියෝ පිරිසක් වටේටම වෙඩි තියලා තියෙනවා. ඒ වෙඩි සද්දෙ මොකක්ද කියලා බලන්න ජනේල ළඟට ගිය පිරිස අතර මගේ තාත්තත් එක් කෙනෙක්. ලොරියක් මහ බැංකුව ඉස්සරහ තිබ්බ කොන්ක්රීට් මල් බක්කි උඩින් ඇතුළට ගන්න උත්සාහ කරනවා. පාරේ ගිය වාහන මහ හඬින් ‍නළා ගහගෙන රිවර්ස් එකේම ගෝල්ෆේස් එක පැත්තට පිම්මෙ යනවා. මහ බැංකුව ඉස්සරහ පාර වාහන සහ මිනිස්සුන්ගෙන් පාලු වෙනවා. ලොරිය මල් බක්කි මතින් මහබැංකුව ඇතුළට ගන්න ඉස්සරහටයි පස්සටයි පද්දනවා. මහ බැංකුව ඇතුළෙ ඉඳන් සිද්ධ වෙන්නේ මොකක්ද බලන්න සිකියුරිටි ගාඩ් කෙනෙක් එළියට එනවා. ලොරිය දැක්ක හැටි‍යෙ මිනිහත් පස්ස නොබලා පණ එපා කියලා දුවනවා. එක පාරටම මහ හඬකුත් එක්ක ගිනි බෝලයක් විහිදුවමින් බෝම්බය පිපිරෙනවා. වටේ ගොඩනැගිලිවල වීදුරු ළඟ හිටපු අය විසී වෙලා ගිහින් බිම වැටෙන්නෙ වීදුරු කුඩුත් එක්කමයි. ඕක තමයි මම තාත්තගෙන් අහපු සිද්ධිය. තාත්තා මම වගේ අතින් පයින් දාලා කියන්න යන්නේ නැති නිසා, සැබෑ සිද්ධියත් ඕකම තමයි.

බිම වැටුණ තාත්තා නැඟිටින කොට ඔලුව පුරහම ලේ. ඒත් තාත්තට මුලින්ම මතක් වුණේ මම ඉස්කෝලෙ බය වෙලා ඇති නේද කියලයි. තාත්තා කොටුවෙ ඉඳන් ඇවිදගෙනම මරදානේ ආනන්දෙ ඉස්සරහට ආවා. ඉස්කෝලේ ඇරිලා එළියට ආපු මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ තාත්ත ඉස්කෝලෙ ගේට්ටුව දැක්කට පස්සෙයි. තාත්තට ලොකු තුවාලයක් නැතත් පොඩි ජොඩි වීදුරු කෑලි ගොඩක් නිසා ඔලුවෙන් ලේ ආවා. ගෙදර ඇවිත් දොස්තර ගාවට ගියහම, දොස්තර මහත්මයා ඒ වීදුරු කෑලි ටික අයින් කරලා බෙහෙත් දැම්මා.

තාත්තා ඔලුවෙන් ආපු ලේ පිහිදන්න ඔලුවෙ තියන් හිටපු ලේන්සුව තමයි ඔය ඡායාරූපෙ තියෙන්නෙ. ඒක ඒ විදියටම තවමත් අපේ ගෙදර තියෙන්නේ යුද්ධයේ තවත් අතුරු කතාවක් කියන්න වගේ

Wednesday, November 10, 2010

පෝන් ස්ටාර්ස් සහ මතට කොටු දැමීම෴

ළඟදි ඉඳන් ලංකාවේ ගොඩක් හොඳ දේවල් කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි මිනිස්සු ‍බොන එක නවත්තන්න කියලා, ටීවී එකේ ෆිල්ම් එකක දුඹුරු පාට තේ වීදුරුවක පෝස්ටරයක් බිත්තියේ ගහලා තිබ්බත් කොටු කොටු දානවා. ඩ්රින්ක් එකක් දාන ගමන් ෆිල්ම් එක බලන මිනිස්සු, ච්ත්රපටියේ හොඳම ටික කොටුවලින් වහපු උන්ගෙ දෙමව්පියො මතක් කරනවා. ඒ බව දන්න රූපවාහිනී චැනල් එකේ අය, තමුන්ගේ දෙමාපියන් නොව වෙනත් රජයේ පිරිසකගේ දෙමාපියන් සිහි කරන මෙන් කරන කාරුණික ඉල්ලීමක් යටින් දානවා.

ලංකාවේ මිනිස්සු බොන එක ඔච්චර හැංගිලා කරන දෙයක්ද? ලංකාවේ සංස්කෘතිය ඇතුළේ සිප ගැනීමක්වත් ප්රසිද්ධියේ කරන්නේ නැති නිසා, ලිංගික දර්ශනයක් නම් කොටු දාලා වැහුවට කමක් නැහැ. හැබැයි නාකි සීයලා නිසා මිණිපිරීලා ගැබ් ගන්නේ, සීයලා කොටු නොදාපු කාලේ ටීවී එකේ ෆිල්ම් බලපු නිසාද කියලා කියන්න නම් මම දන්නේ නැහැ. සිංදු ලියන ප්රසිද්ධ ආචාර්ය පොරක්, ගුවන් විදුලියේ සිංදුවක් පටිගත කරන්න ආපු පාසල් සිසුවියකට ලව් ටෝක්ස් දීලා එහෙන් මෙහෙන් අල්ලන්න ගිහින් මාට්ටු වු‍ණේ සති කීපයකට උඩදි. මුන් තමයි ඔය ව‍ගේ උපාසක නීති ගේන්නේ.

මඟුල් ගෙදර, මළ ගෙදර, දානේ ගෙදර, ආදී එකී මෙකී නොකී තැන්වල, රෑ දවාලක් නැතිව බොන ලංකාවේ, චිත්රපටියකට අවශ්යම තැනකට බොන දර්ශනයක් ඇතුළත් කළහම මොකද? බුදු හාමුදුරුවන්ගෙ ගිහි කළ මාමණ්ඩි වුණ සුප්පබුද්ධ රජ්ජුරුවෝ බොන එක නවත්තන්න බුදු හාමුදුරුවන්ටත් බැරි වුණා විතරක් නෙවෙයි, බීලා‍ ආපු සුප්පබුද්ධ රජ්ජුරුවෝ බුදු හාමුදුරුවන්ට බැන්නත් එක්ක. අපේ සම හරක් බොන එක කොටුවලින් වහලා, බීම නවත්තන්න හදන්නේ, හරියට මාළිගාවෙ කොටු කරලා, සිදුහත් කුමාරයට කළකිරෙන දේ පෙනීමෙන් වළකන්න හදපු සුද්ධෝදන රජ්ජුරුවො වගේ. සුද්ධෝධන රජ්ජුරුවො ඇතුළු නෑයෝ, මාළිගාවේ ඉන්න ඇමතිවරු වයසට යන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? සිදුහත් කුමාරයට ඒවා පෙනෙන එක නවත්වන්න පුලුවන්ද? ඕක අපේ සුද්ධෝදනලට තේරෙන්නෙ නැහැ.

බුදු හාමුදුරුවන්ටත් නීති දාලා නවත්තන්න ඕන නැති වුණ බීම, අපේ සමහර හාමුදුරුවන්ට නීති මගින් නවත්තන්න ඕන වෙලා. බුදු දහමේ එන්නේ ස්වයං පාලිත විනයක්. අරාබිය වගේ නීති දාලා බීම නවත්තන්න ගියොත් ලංකාව බෞද්ධ අන්තවාදයකට තල්ලු වෙනවා. අරාබියෙවත් මේ තරම් අන්තවාදීන් හිටියෙ නැහැ. අපේ මේ අන්තවාදියො ටික අ‍රාබියේ හිටිය නම් ඕමාර් කයියාම්ගේ, ඛලීල් ජිබ්රාන්ගේ කවිවල `වයින්` කියලා තියෙන පද පේළි කටු ගාලා දානවා ෂුවර්.

බුදු හාමුදුරුවොත් අන්තවාදීන්ව ප්රත්ක්ෂේප කළා. හැබැයි ඔය නීති ගේන අන්තවාදීයො බොහෝ දෙනෙක්, සරල බාසාවෙන් කි‍යුවොත් හොඳ බෙබේලා සහ බඩුකාරයෝ. ඒත් පෙන්නන්නෙ උපාසකයො වගේ. මිනිස්සු එදත් බිව්වා, අදත් බොනවා, හෙටත් බොයි. මත්පැන්  භාවිතය අවම කරන්න මීට වඩා බුද්ධිමත් ක්රියා මාර්ග ගන්න ඕන වගේම, පාසල් දරුවන්ව මත් පැනින් ඈත් කරන්න ක්රමවත් වැඩ පිළිවෙලක් හදන්න ඕන. 

ප්රසිද්ධ ස්ථානයක අශීලාචාර විදියට හැසිරෙන එක ලංකාවෙ අපි අනුමත කරන්නෙ නැහැ. ඒත් ගාල්ලේ කොටුවෙ හරි, මල් වත්තක හරි, සත්තු වත්තෙ හරි, මුහුදු වෙරළෙ හරි කතා කරකර ඉන්න කෙල්ලෙකුයි කොල්ලෙකුයි එලවන්නේ මොන නීතියකින්ද? උන් කතා කරන්න ඕන පොලිස් අවසරය ඇතුව පොලිසියෙ බංකුවක් උඩද?

කාලයක් කොණ්ඩෙ දිග කොල්ලන්ගෙ කොණ්ඩෙ කපන ජාතියෙ ගොන් වැඩත් පොලිසියෙන් කළා. කොල්ලෙක්ගෙ ගෙදර තිබ්බ ගම්පෙරළිය පොත දැකලා, `උඹ ගම් පෙරලන්න හදන්නෙ එහෙනම්` කියලා ‍ජේවීපීකාලේ කොල්ලෙක් අල්ලන් ගියා කියලා කතාවකුත් තියෙනවනේ.

දවස් කීපයකට උඩදි හිරකාරයන්ගෙන් පොලිසිය ගුටි කෑවහම, ගොඩක් අය සතුටු වුණේ‍ පොලිසියේ ගොං සහ ජරා වැඩ ගැන මිනිස්සුන‍්ගෙ තිබ්බ අප්රසාදය හින්දමයි. හැබැයි කොළඹ ලොකු හෝටල්, කැසිනෝ ශාලාවල මොනවා සිද්ධ වුණත් පොලිසිය ඇහැක් ඇරලා බලන්නෙ නැහැ. පොඩි රෙස්ට් හවුස් එකක කාමරේක හිටපු කපල් එකක් නම් මුන් අල්ලං එන්නෙ මහ වීර ක්රියාවක් කලා වගේ. ගණිකාවක් නෙවෙයි නම් කපල් එකක් රූම් එකක හිටියම අල්ලන් යන්න පුලුවන් නීතිය මොකක්ද කියලා මම නම් දන්නෙ නැහැ. උන් දෙන්නට ෆයිව් ස්ටාර් හොටෙල් එකකට රිංගන්න සල්ලි තිබ්බ නම් පොලිසිය ආරක්ෂාවත් දෙනවා.

ලංකාවේ ළඟදිම කරපු හොඳ වැඩක් තමයි අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරපු එක. උසාවි නියෝගයකින් වෙබ් සයිට්වල එඩ්රස් දෙනවා, විදුලි සංදේශන කොමිසමෙන් බ්ලොක් කරනවා. ගණන් කරන්න බැරි ගාණක් තියෙන අසභ්‍ය වෙබ් අඩවි එකින් එක බ්ලොක් කරනවා කියන්නේ, මුහුදු වතුර ‍පොල් කට්ටකින් ඉහිනවා වගේ ගොං වැඩක්. අද එකක් බ්ලොක් කරන කොට, හෙට සීයක් අලුතින් අන්තර්ජාලයට එකතු වෙනවා. මේ වැඩෙන් හෙම්බත් වෙලා ඉන්න විදුලි සංදේශන කොමිසම, ෆිල්ටර් ක්රමයක් හඳුන්වලා දෙන්න යනවයි කියලා කියනවා.

ඒ අස්සෙ පොලිසියෙන් අලුත්ම වීර ක්රියාවක් කළා. පොලිසියෙ ඉන්න සීයට අනූවකට වැඩිය දෙනෙක් කම්පියුටර් එකක් ඔන් කරන්නෙ කොහොමද කියලවත් දන්නෙ නැහැ කියලා මට නම් ෂුවර්. ඊයෙ පොලිසියෙන් මාධ්යවලට නිකුත් කළා ලංකාවේ ඉන්න පෝන් ස්ටාර්ස්ලගේ පින්තුර. ලංකාවේ ටික කාලෙකට ඉස්සර, ඇගේ වයිරයකින් සලුපට අහසට දාගෙන පටන් ගත්ත කාම චිත්රපට රැල්ලක් තිබුණත්, නිල් චිත්රපට කර්මාන්තයක් තිබුණේ නැහැ. කර්මාන්තයක් නැත්තම් නිළියෝ කොහෙන්ද? පොලිසිය මේ ඡායාරූප නිකුත් කරලා තිබ්බේ, හඳුනා ගැනීමට උදව් වෙන්න කියලා. ඊට පස්සෙ අල්ලලා නඩු දාන්න වෙන්න ඇති.
මාත් මේ ඡායාරූප ටික බැලුවේ අඳුනන කෙනෙක්වත් ඉන්නවද බලන්න. හැබැයි අපේ ශූර පොලිසියට නොතේරුණාට, මේ ඡායාරූපවල ඉන්න සමහර අය අන්තර්ජාලයේ කුණු වෙබ් සයිට් වල තියෙන දකුණු ඉන්දියානු වීදි ගණිකාවන් සහ ලතින් ඇමෙරිකානු තරුණියන්ගේ ඡායාරූප බව ඕන මෝඩයෙක්ට තේරෙනවා. අඩුම ගානේ පුවත්පත්වලට නිකුත් කරන්න කලින්. කොළඹ ඉස්කෝලෙක උසස් පෙළ පන්තියෙ කොල්ලෙක්ගෙන් අහල උපදෙස් ගත්තනම්, ගොංකම ටිකක් හරි වහගන්න පොලිසියට තිබ්බා. `හරකා උනාට කමක් නැහැ, උම්බෑ කියන්න එපා` කියලා කියමනක් තියෙනවා. එතකොට හරකා කියලා මාට්ටු නොවී ඉන්න පුලුවනි.

සමහර සිංහල කෙල්ලන්ගෙ පින්තුරත් මෙතන තියෙනවා. ඒ අය පෝන් ස්ටාර්ස්ලා නෙවෙයි. වැඩිහරියක් තියෙන්නේ කොල්ලා රවට්ටගෙන හෝටලයකට එක්ක ගිහින්, කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වීඩියෝ සහ ඡායාරූප ගත කරපු ගැහැණු ළමයින්ගේ ඡායාරූප. ඒ කොල්ලො ඒවා අන්තර්ජාලයට මුදා හැරලා. කොල්ලෙක් කරපු මේ අවලම් වැඩේ නිසා දැනටමත් ඒ තරුණියෝ අසරණ වෙලයි ඉන්නෙ. පොලිසිය මේ අසරණ ගැහැණු ළමයින්ව පෝන් සටාර්ලා කියලා හංවඩු ගහලා, හඳුනා ගන්න උදව්වෙන්න කියලා පත්තරවල පල කරලා. මොන තරම් ලැජ්ජ නැති තිරිසන් පහත් වැඩක්ද පොලිසිය කරලා තියෙන්නේ. පොලිසිය හිතුවද දන්නේ නැහැ පෝන් ස්ටාර් කියන්නේ මෙගා ස්ටාර් වගේ එකක් කියලා. ඒ ‍ඡායාරූප යටින් එස්.එම්.එස්. කරන්නද කොහෙද අංක වගයකුත් දාලා තිබ්බේ ඒ නිසා ‍වෙන්න ඇති.
රටේම සල්ලි ගසා කන මිනී මරුවෝ, හොරු, තක්කඩි, ස්ත්රී දූෂකයෝ පාර්ලිමේන්තුව ඇතුලු ලොකු ලොකු තැන්වල යහතින් ඉඳීද්දී, පොලිසිය අහිංසක ගැහැණු ළමයි පිරිසක් නිස්කාරණේ හංවඩු ගහනවා මහා වරදක් කළා වගේ. අසරණ වෙලා ඉන්න මේ තරුණියකගෙ ඡායාරූපය පෝන් ස්ටාර් කෙනෙක්ගෙ කියලා පත්තරේ පළ වුණහම ඒ ළමයා සමාජෙට මුහුණ දෙන්නෙ කොහොමද? මානසිකව වැටිලා ඉන්න ඒ වගේ ළමයෙක් සිය දිවි හානි කර ගත්තොත් පොලිසිය වග කියනවද?

මම දන්න ගැහැණු ළමයෙක්ගෙ ඡායාරූපෙකුත් ඔය අතර තිබුණා. ඒ ළමයා කොල්ලත් එක්ක හෝටල් කාමරයක කරපුවා කැමැත්තෙන් වීඩියෝ සහ ඡායාරූප ගත කරලා තිබුණා. ඒ කොල්ලා ඡායාරූප ටික පරිඝණකයේ සේව් කරලා ඩිලීට් කළත්, රිසයින්ල් බින් එකේ තිබුණු ඒ ෆයිල්ස් ටික කොල්ලගේ බෝඩිමේ යාලුවකුට අහුවුණා. මිනිහා ඒ ටික වටේටම යැව්වා. ඒක අන්තර්ජාලෙටත් එකතු වුණා. මේ ‍‍ඡායාරූපවල ඉන්න ගොඩක් ගැහැණු ළමයි පොලිසියට පෝන් ස්ටාර්ලා වුණේ මේ විදිය සිද්ධි වලින්. පොලිසිය මේ තරුණියන්ව මාධ්‍ය මගින් වෘත්තිමය ගණිකාවන් ලෙස නම් කරන්නයි මේ උත්සාහ කරලා තියෙන්නෙ.

පෝන් ස්ටාර් කියන වචනේ තේරුමවත් දන්නෙ නැති අමන පොලිසිය විසින් හඳුනා ගැනීම සඳහා පළ කරන්න කියලා දීපු මේ ඡායාරූප, තමන්ගේ පුවත්පත්වල පළ කිරීම ලක්බිම හැර අනෙක් පුවත්පත් ප්රතික්ෂේප කළා කියලා ආරංචියි.
නවීන තාක්ෂණයෙන් හදපු ව්‍යාජ ඡායාරූපත් ඒ අතර තියෙන්න පුලුවන් කියලා ඒ අය කියුවලු. ඒ සදාචාරසම්පන්න බුද්ධමත් මාධ්යවේදීන්ට සහ මාධ්‍යායතනවලට ඔලුව නමලා ආචාර කරන්න ඕන.

මේ තරුණියන් හැමෝම වගේ ඉන්නේ එකම එක කෙටි වීඩියෝ ක්ලිප් එකක හරි එක් අවස්ථාවක ගනිපු ඡායාරූප කිහිපයක හරි විතරමයි. ඒ තමුන්ගෙ පෙම්වතා විසින් විශ්වාසය සහ ආදරය කියන සලුවට මුවා වෙලා ගනිපු ඡායාරූප හෝ වීඩියෝ ක්ලිප් එකක්, ඒ අමන තරුණයා විසින් අන්තර්ජාලයට මුදා හල නිසා. ඒත් පෝන් සටාර් කෙනෙක් වෙන්න නම් ස්ක්රිප්ට් ලියලා කරන නිල් චිත්රපට කිහිපටකටවත් මුදල්වලට රඟපාපු කෙනෙක් වෙන්න ඕන. පොලිසිය පෝන් ස්ටාර්ලා කියලා පෙන්නන මේ තරුණියෝ එහෙම මුදලට නිල් චිත්රපටි කර්මාන්තයේ යෙදුණ අය නෙවෙයි. පෙම්වතා විසින් රවටලා ගනිපු ඡායාරූප හෝ කෙටි නිරුවත් වීඩියෝ ක්ලිප් එකක් අන්තර්ජාලයේ තිබුණු පලියට ඒ අය පෝන් ස්ටාර්ලා වෙනවනම්, ඉන්දි‍යාවේ මුම්බායිවල ‍ෆොටෝ එකක් ගන්න හැමෝමටම තමුන් හින්දි නළුවෙක් කියලා කියන්නත් පුළුවන්.
සදාචාරය ගොඩනගන්න කියලා පොලීසිය මේ කරන අමන ක්රියා, කිසිම සදාචාරසම්පන්න පුද්ගලයෙක් අනුමත කරන්නේ නැහැයි කියලයි මම හිතන්නේ. ‍88 ජේවීපී කාලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පිරිසක්, අපේ ගෙවල් ළඟ තාප්පෙක ලියලා තිබ්බ මේ වචන පේළිය මට තවම මතකයි.
`නූගත් පොලිස් බල්ලා, උගත් සිසුවාට වින කරයි`.

Sunday, November 7, 2010

ආදරේට අලුත් උපමාවක්...

ආදරෙත් වෙලාවකට
මිනී පෙට්ටියක් වගෙයි...
ඕන කෙනාට පේන්නෑ
පේන කෙනාට ඕන්නෑ...