Saturday, November 13, 2010

අවජා‍තකයෝ෴

අද මම කියන්න යන්නේ ෆොටෝ කතාවක්. ඉස්සෙල්ල ෆොටෝ එක බලල ඉන්නකෝ. මෙන්න ලින්ක් එක.

මොකක්ද බං ඔය ලේන්සුව? ලේන්සු සහ මගේ අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මගේ පරණ කාර්යාල කාමරේ ඇතුළේ ගෑණු ලේන්සු දෙකක් දාලා ගිහින් තිබුණා. ඒක මොනවා හරි අහගන්න ආපු නොදන්නා ගැහැණු ළමයි දෙන්නෙක් දාලා ගිහිපුවා. කාර් එක ඇතුළෙත් දවසක් ලේන්සුවක් දාලා ගිහින්. ඒක අඳුනන මැදි වයසේ ගැහැණු ‍කෙනෙක් පයින් යනවා දැකලා, පාරට ඇරලපු වෙලාවක දාලා ගිය එකක්. දරුණුම වැඩේ තමයි, මගේ ගෙදර කාමරේ ඇතුළෙත් ගෑණු ලේන්සුවක් තිබ්බ එක. සමහර පිරිමි ළමයි අතට අහුවෙන ලේන්සු පාවිච්චි කරනවා. මේක එහෙම මාව හම්බෙලා කම්පියුටර් වැඩක් කර ගන්න ආ පිරිමි ළමයෙක් දාලා ගිහිපු ගෑණු ලේන්සුවක්. කොහොම වුණත් මේවා ඔක්කොම ගෑණු ලේන්සුනේ. අහිංසක මට තමයි උත්තර බඳින්න වෙන්නේ.

හැබැයි මේ ඡායාරූපේ තියන ලේන්සුව ඔය කියපු ජාතියෙ එකක් නෙවෙයි.

ඒ 1996 අවුරුද්දේ ජනවාරි 31 වෙනිදා. මම ඉස්කෝලේ නවය වසර පන්තියට ආවා විතරයි. අපේ පන්තිය තිබ්බේ ආනන්දෙ පස් මහල් ගොඩනැගිල්ලේ හතර වෙනි මහළේ ආනන්ද මාවත පැත්තට වෙන්න. පස්මහල් ගොඩනැගිල්ලට කොළඹ නගරයේ ලොකු වපසරියක් පේනවා. ලංකා බැංකුවෙ පිට්ටු බම්බු ගොඩනැගිල්ල, වරාය එහෙම, අපි හිටිය හතර වෙනි මහලට හොඳට පේනවා. මගේ තාත්තා ඒ දවස්වල වැඩ කළේ ලංකා බැංකු‍ ගොඩනැගිල්ලෙ නව වෙනි මහළෙ.

එදා පොඩ්ඩක් වැහිබර දවසක් කියලා මට මතකයි. දවල් එක පාරටම `ඩෝං` ගාලා ලොකු සද්දයක් ආවා. ඒ එක්කම `බෝම්බයක් බෝම්බයක්` කියන වචනේ හතර වටින්ම ඇහෙන්න ගත්තා. මගේ ඇඟ හීතලා වෙලා ගියේ, `ලංකා බැංකුවට බෝම්බයක් ගහලා` කියලා කවුදෝ කියනවා ඇහුණු වෙලාවේ. මම පන්තියේ ජනේලෙන් ඒ පැත්ත බැලුවම, ඇත්ත තමයි ලංකා බැංකුව ගාවින් ලොකු කලු දුමාරයක් යනවා. මට මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වුණා. ගුරුවරු අපිට පන්තියෙන් එළියට බහින්න එපා කියලා පන්ති අඩස්සියේ තියලා, කොරිඩෝ එකේ එහෙට මෙහෙට කළබලෙන් දුවනවා.
ඒ අස්සේ සමහර නසරානි කොල්ලෝ `අඩෝ ‍බෝම්බයක් ගිහින්, ලංකා බැංකුව බිම. හෙට නිවාඩු දෙයි`, කියලා උඩ පනිනවා. ටික වේලාවකින් බෝම්බය ගහලා තියෙන්නේ ලංකා බැංකුවට නෙවෙයි, ඒ ඉස්සරහ තියෙන මහ බැංකුවට බව දැන ගන්න ලැබුණම හිතට ටිකක් විතර සහනයක් ලැබුණා.
ඒ කාලේ බෝම්බයක් ගියහම බයට කොළඹ ඉස්කෝල වැහුවා. මේ නිවාඩු නිසා උඩ පනින කතාව, නොදන්නකමට පොඩ් උන් කියපු කතාවකට වඩා ලොකු දෙයක් කියලා හිතෙන්නේ, එකොළහ වසර සාමාන්‍ය පෙළ පන්තියෙදි, කණට ගැහුවා වගේ පුපුරපු මරදානේ බෝම්බෙ වෙලාවෙත්, සමහර කොල්ලෝ නිවාඩු දෙයි කියලා සතුටු වුණ නිසා. සාමාන්‍ය පෙළ පන්තියෙ ඉන්නෙ බබාලා නෙවෙයිනේ.

අපේම රටේ මිනිස්සු බෝම්බෙකින් මැරෙද්දි, ලංකාවෙ සිංහල බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්රස්ථානය වුණ ආනන්දෙ සමහර කොල්ලො, නිවාඩුවක් ගැන උඩ පනින තත්වෙට පත්වෙන්න කොහේ හරි වැරැද්දක් වෙලා තිබුණා කියලා මට හිතෙනවා. එකක් ඒ උඩ පැනපු බොහෝ දෙනෙක් දුර පළාත්වල අය. ඒ අයගෙ දෙමව්පියෝ කොළඹ එන්නේ නැහැ. අනික ගෙදරින් ඈත් වෙලා කොළඹ නේවාසිකව ඉන්න මේ අය ගෙදර යන්නෙ කොයි වෙලාවෙද කියලා බලාගෙන ඉන්නේ.

ඒත් මේ වගේ පහත් සතුටු වීමකට මීට වඩා කරුණු හේතු වුණා. ඊනියා සාම සාකච්ඡා සහ ‍දෙමළ ඡන්ද ටික ගන්න සිංහල ජාතිය පාවා දුන් දේශපාලන බඩගෝස්තරවාදීන් විසින් සිංහල ජනතාව නිවට ජාතියක් බවට පත් කළා. කාලයක ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් අයින් කළා. ඉතිහාසය නොදන්න එකාට රට ගැන හැඟීමක් තියෙයිද? ඉතිහාසයක් නැති ඇමරිකාවේ පුරවැසිකම ගන්න ඇමරිකන් ඉතිහාස පරීක්ෂණයෙන් සමත් වෙන්න ඕන කියලා මම අහලා තියෙනවා.

සිංහලයෙක්ට තමුන් සිංහලයෙක් කියලා කියන්න බැරි කාලයක් තිබ්බා. දෙමළ මුස්ලිම් මිනිස්සු තමුන්ගේ ජාතිය ගැනි අභිමානයෙන් කතා කරද්දි, සිංහලයන්ව `ශ්රී ලාංකික` ජාතියක් බවට පත් කරලා වඳ කරලා දැම්මා. `මම සිංහලයෙක්` කියලා කියුවොත් ඒ මිනිහට ජාතිවාදියෙක් කියලා ලේබල් ගහනවා. `මේ සිංහල අපගෙ රටයි` ආදී ජාතිකාභිමානී ගීත, ජාතිවාදී ගීත කියලා හංවඩු ගහලා තහනම් කළා. යාපනේ දෙමළ ළමයින්ට ගුරුවරු අන්තවාදී අදහස් ඔලුවට දාද්දි, අපේ අය දුටුගැමුණු චරිතය ජාතිවාදියෙක් කියලා පෙළ පොතෙන් අයින් කළා. දෙමළ ගුරුවරු කෙස් පැළෙන තර්ක එක්ක නිජ බිම් සංකල්පයන් ඒ දරුවන්ට උගන්නලා, සිංහලයො එක්ක වෛරයක් නිර්මාණය කළා. දෙමළ, මුස්ලිම් පාසල්වල සිංහල අකුරක් නූගන්නද්දි, සමහර රජයේ ආයතන බඳවා ගැනීමේ පරීක්ෂණවලදී දෙමළ භාෂා ප්රශ්න පත්රයක්ට මුහුණ දීම අනිවාර්යය කළා. තමුන්ගෙ සහෝදර ජනතාව මරපු ‍ත්රස්තවාදීන්ට ලැජ්ජාවක් නැතිව මුදල් ගෙවලා, සාම ගිවිසුමට මුවා ‍වෙලා යාපනේ ට්රිප් යන ජාතියක් බිහි වුණා. කොටි හමුදා කඳවුර ඉස්සරහට ඇවිත් සරම උස්සලා පස්ස පැත්ත පෙන්නලා හූ කියලා යද්දි, තුවක්කුව අතේ තියන් අසරණව බලන් ඉන්න, හමුදාවට සිද්ධ වුණ කාලයක් තිබ්බා.

දෙමළ ඡන්ද ටික බලාගෙන සිංහල ජාතියට මේ විනාශය සිද්ධ කලේ, සිංහල ඡන්ද අරන් බලයට ආපු දේශපාලඥයෝ. මැලේසියාවේ කියන්නේ මැලේ ජාතිකයන්ගේ නිජ බිම. ඒත් චීන සහ දෙමළ විශාල ප්රතිශතයක් මැලේසියාවේ ජීවත් වෙනවා. එක් කාලෙක ජන සංගණනයකදි චීන ජනගහනය, මැලේ ජනගහණයට වඩා වැඩි බව හෙළි වුණා. ඒ වාර්තා යට ගහලා, මහතීර් මොහොමඩ් භූමි පුත්ර සංකල්පය ගෙනාවා. ඒ අනුව මැ‍ලේ හෝ දෙමළ ජාතිකයෙක් චීන ඉගෙන ගන්න ඕන නැති වුණත්, මැලේසියාවේ ජීවත් වන හැම කෙනෙක්ම, මැලේ භාෂාව ඉගෙන ගත යුතු වෙනවා. මොන විභාගේ සමත් වුණත්, මැලේ අසමත් නම් මිනිහා අසමත්. අදටත් මැලේසියාවේ චීන ජනගහනය, මැලේ ජනගහනයට වඩා වැඩියි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒත් අපේ රටේ සීයට හැත්තෑ හතරක් ඉන්න සිංහලයන්ට කියනවා, සීයට දහහතක් ඉන්න දෙමළ ජනතාවගේ භාෂාව පුරුදු වුණේ නැත්තම් රැකියා දෙන්නෙ නැහැ කියලා. දේශපාලන වාසි සඳහා මේ විදියට ජාතියක් නිවට කිරීමෙන් අවසානයේ ගොඩනැගෙන්නෙ වෛරය. ඒත් දෙමළ ළමයි සිංහල ඉගෙන ගන්නවද කියන එක නම් ප්රශ්නයක්. භාෂාවක් ඉගෙන ගැනීම ගොඩක් වටින දෙයක්. ඒත් ඔය වෙලාව ඉංග්රීසි ටිකක් ඉගෙන ගන්න යොදවනවනම් දෙමළ ඉගෙන ගන්නවට වඩා සෑහෙන්න වටිනවා.

ඒ වගේම විවෘත ආර්ථිකෙත් එක්ක තමුන් ගොඩ ගිහින්, අනික් අයට මොනවා වුණත් කමක් නැහැ කියන සිතිවිල්ල ජනතාව අතර ගොඩනැගුණා. මේ හැම දෙයකම එකතුව තමයි ජාතියක් රටක් ගැන හැඟීමක් නැති, බෝම්බයක් පිපුරුණහම නිවාඩු ලැබෙයි කියලා උඩ පනින විදිහෙ පහත් ජාතියක් බිහි වීම. පාසල් ළමයි විතරක් නෙවෙයි, සමහර වැඩිහිටියොත් බෝම්බයක් පිපුරුණහම, හෙට ඇඳිරි නීතිය දායි කියලා සතුටු වෙනවා.
කිරි බිබී හිටපු අත දරුවන්ව අම්මලත් එක්කම කපලා කොටලා මරන කොට, අරන්තලාවෙ හාමුදුරුවෝ මරා දාන කොට `ආ ඇත්තද? කීයක් මැරිලද?` කියලා සරලව අහන, පොෂ් වෙන්න ට්රයි කරන සිංහල මිතුරියක්, චාල්ස් ඇන්තනි කියන ත්රස්තවාදියා මරපු වෙලාවේ, `චාල්ස් ඇන්තනි පවූ . . .` කියලා කට හදලා, ඇදලා කියුව හැටි මට තාම මතකයි.

කොළඹ පාසල් ගිහිපු, වැඩට ගිහිපු අය අතරින් බෝම්බ හඬක් නෑසුන කෙනෙක් ඉන්නවද? බෝම්බයකින් නෑයෙක් හෝ දන්නා හඳුනන කෙනෙක් තුවාල ලබා හෝ මිය ගිය නැති අයෙක් ඉන්නවද? හමුදාවට ගිය නෑයෙක් තුවාල ලබා හෝ මිය ගොස් නැති අයෙක් ඉන්නවද? අපි උපන් දවසේ හිටන් තිබ්බ මේ යුද්ධෙන් එවැනි අමිහිරි, කටුක අත්දැකීම් නොලබපු අයෙක් ඉන්නවනම් හරිම කලාතුරකින් තමයි.

දැන් ඒ අවාසනාවන්ත තිස් අවුරුදු යුද්ධෙ ඉවරයි. ඒත් අදටත් ඊළඟ බෝම්බයක් පිපිරෙනකම් බලා ගෙන ඉන්න පිරිස් ඉන්නවා. කට්ටියක් යුද්ධය නිසා ගාණක් හොයා ගත්ත අය. කට්ටියක් සාමය වෙළඳාම් කළ එන්ජීඕ කාරයෝ. තව කට්ටියක් විරුද්ධ පක්ෂ දේශපාලන අන්තවාදී අමනයෝ.

රටත් ජාතියත් පුද්ගලයෙක්ගෙ අම්මයි තාත්තයි වගේ. මේ කියන රට ජාතිය හඳුනන්නෙ නැති, ඒ ගැන හැඟීමක් නැති අය, මව පියා නොහඳුනන නිසා අවජාතක රැලක් කියලා හැඳින්වුවට වරදක් නැහැ. තමුන් නොදන්න වරදකට පියා නොහඳුනන දරුවෝ අවජාතක නැහැ ඒ අයට කොහේ හරි තාත්තෙක් ඉන්නවා. ඒත් මේ කියන අමනයො තමයි රටේ උපන් සැබෑ අවජාතකයෝ.

එතකොට මොකක්ද බං ඔය ලේන්සු ෆොටෝ එක?

මහ බැංකුවට ලොරි බෝම්බෙ ගහන්න කලින්, වෙනත් ත්රීවීල් එකක ආපු ත්රස්තවාදියෝ පිරිසක් වටේටම වෙඩි තියලා තියෙනවා. ඒ වෙඩි සද්දෙ මොකක්ද කියලා බලන්න ජනේල ළඟට ගිය පිරිස අතර මගේ තාත්තත් එක් කෙනෙක්. ලොරියක් මහ බැංකුව ඉස්සරහ තිබ්බ කොන්ක්රීට් මල් බක්කි උඩින් ඇතුළට ගන්න උත්සාහ කරනවා. පාරේ ගිය වාහන මහ හඬින් ‍නළා ගහගෙන රිවර්ස් එකේම ගෝල්ෆේස් එක පැත්තට පිම්මෙ යනවා. මහ බැංකුව ඉස්සරහ පාර වාහන සහ මිනිස්සුන්ගෙන් පාලු වෙනවා. ලොරිය මල් බක්කි මතින් මහබැංකුව ඇතුළට ගන්න ඉස්සරහටයි පස්සටයි පද්දනවා. මහ බැංකුව ඇතුළෙ ඉඳන් සිද්ධ වෙන්නේ මොකක්ද බලන්න සිකියුරිටි ගාඩ් කෙනෙක් එළියට එනවා. ලොරිය දැක්ක හැටි‍යෙ මිනිහත් පස්ස නොබලා පණ එපා කියලා දුවනවා. එක පාරටම මහ හඬකුත් එක්ක ගිනි බෝලයක් විහිදුවමින් බෝම්බය පිපිරෙනවා. වටේ ගොඩනැගිලිවල වීදුරු ළඟ හිටපු අය විසී වෙලා ගිහින් බිම වැටෙන්නෙ වීදුරු කුඩුත් එක්කමයි. ඕක තමයි මම තාත්තගෙන් අහපු සිද්ධිය. තාත්තා මම වගේ අතින් පයින් දාලා කියන්න යන්නේ නැති නිසා, සැබෑ සිද්ධියත් ඕකම තමයි.

බිම වැටුණ තාත්තා නැඟිටින කොට ඔලුව පුරහම ලේ. ඒත් තාත්තට මුලින්ම මතක් වුණේ මම ඉස්කෝලෙ බය වෙලා ඇති නේද කියලයි. තාත්තා කොටුවෙ ඉඳන් ඇවිදගෙනම මරදානේ ආනන්දෙ ඉස්සරහට ආවා. ඉස්කෝලේ ඇරිලා එළියට ආපු මගේ ඇඟට ලේ ටිකක් ඉනුවෙ තාත්ත ඉස්කෝලෙ ගේට්ටුව දැක්කට පස්සෙයි. තාත්තට ලොකු තුවාලයක් නැතත් පොඩි ජොඩි වීදුරු කෑලි ගොඩක් නිසා ඔලුවෙන් ලේ ආවා. ගෙදර ඇවිත් දොස්තර ගාවට ගියහම, දොස්තර මහත්මයා ඒ වීදුරු කෑලි ටික අයින් කරලා බෙහෙත් දැම්මා.

තාත්තා ඔලුවෙන් ආපු ලේ පිහිදන්න ඔලුවෙ තියන් හිටපු ලේන්සුව තමයි ඔය ඡායාරූපෙ තියෙන්නෙ. ඒක ඒ විදියටම තවමත් අපේ ගෙදර තියෙන්නේ යුද්ධයේ තවත් අතුරු කතාවක් කියන්න වගේ

No comments:

Post a Comment