Thursday, November 4, 2010

පරිත්තස්සවන කාලෝ ෴

ගෙවල්වල පැත්තකට විසි කරලා තිබ්බ රේඩියෝ එක එළියට ගත්තෙ එෆ් එම් නාලිකා තමයි. ඒත් මෙලෝ රහක් නැති සිංදු හිට් කරන්න ගත්ත උත්සාහය නිසා ගොඩක් ගෙවල්වල දැන් රේඩියෝ අහන්නෙ නැහැ. ඒත් බස්වල යනකොට නම් ඔය සිංදු ටික අහගන්න පුලුවන්. ප්රයිවට් බස් ඩ්රයිවර්ලට ඒ රිදම් එක හොඳට අල්ලලා යනවා.

ඒත් දැන් නිතර දෙවේලේ දාපු සිංදු වෙනුවට අලුත්ම අංගයක් එකතු වෙලා. ඒ තමයි මහානුභාවසම්පන්න ගාථා රත්න. දැන් ගෙදරක පොඩි එකෙක්ට පාඩම් කරන්න නැහැ, හාමුදුරුවො ගාථා රත්න දේශනා කර කර ‍‍බෙරිහන් දෙනවා. `අම්මෙ, ඔය රේඩියෝ එක ඕෆ් කරන‍්‍නකො මට පාඩම් කරන්න තියෙනවා`, කියලා පොඩි එකා කියුවොත්, `දැන් කාලෙ හැදෙන උන් බණක් දහමත් අහන්න බැරි පවුකාරයෝ` කියලා බැනුම් කෝටියයි. අම්මා හිතන්නෙ පාඩම් නොකළත් ගාථා රත්නෙ දිව්ය ලෝකෙටම ඇහෙන්න දැම්මම, දෙවියො ඇවිත් විභාගෙ ලියලා හරි කොල්ලව ගොඩ දානවා කියලා. ගාථා රත්නෙ දේශනා කරන්න කලින් එෆ් එම් නාලිකාවෙන් ඒකෙ ආනුභාවෙ කියන විදියට, කාටත් එහෙම හිතෙ එකේ පුදුමෙකුත් නැහැ.

බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධයො වුණු අපේ ගෙවල්වල ඉන්න උපාසකම්මලා හරි ආසයි සද්දෙ වැඩිම කරලා රේඩියෝ එකේ යන බණ දා ගෙන ඉන්න. හැබැයි අහන්නෙ නම් නැහැ. වෙන වෙන වැඩ. ඕය නිසා උපාසකම්මලට මෙගා නාට්ටයක් බලනවා වගේ ආතල් බණ අහන්න, ළඟදි බණ වෙනුවට ගැලරියට අත්පුඩි ගහන්න වාචාල කතා කියන ‍ජෝකර්ලා ටිකකුත් ටීවී එකේ බණ කියන්න ගත්තා. තමුන් මෛත්රී බුදුන් කියලා කියා ගන්න ගිහි නාකි පරාණෙකුත් බෙලෙක් හඬින් ටීවී චැනල් එකක බණ කියනවා. බුදු බණ ඇසීම දුර්ලභයි කියන බුදු වදන ඇත්ත වෙන්නෙ, මේවයෙ වැඩි හරියක් දේශනා කරන්නෙ බුදු බණ නොවන නිසා. කෙල්ලෙක් ඩෙනිමක් අඳින එක තමයි සමහර උන්නාන්සේලාට ලංකාවේ පේන ලොකුම වරද. ඒ කාලෙ ඩෙනිමක් ගහන්න බැරි වුණ නාකි උපාසකම්මලටත් ඒවා නැගලා යනවා. ඒ අය ඒවා අහලා `හක හක` ගාලා හිනා වෙලා, සතුටට `සාධු ‍සාධු!!!` කියනවා

ඒත් මේ කියන ගාථා රත්න බණ නම් නෙවෙයි. පහු කාලීනව හාමුදුරුවරු ලියපු ආරක්ෂක බුද්ධ මන්තර. මට තාම මතකයි, මට අවුරුදු දොළහෙදි විතර දළදා මාළිගාවේ ආරක්ෂක යන්තරය වෙන රත්නමාලී බන්ධන ගාථා, රවුමට ලියපු යන්තරෙන් කියවන විදිය සීයා පුරුදු කරපු හැටි. දැන් රත්නමාලී බන්ධන ගාථා ‍රේඩියෝ එකේ මාකට් කරනවා. ඇත්තටම ඝණ පිහිටුවලා කීවහම මේ බුදු ගුණ මන්තර වල ලොකු බලයක් තියෙනවා. ඒත් අපේ උපාසකම්මලා මහ හයියෙන් මේවා දාගෙන ඉන්නෙ බුදු හාමුදුරුවො අත්හරින්න කියලා දේශනා කරපු තණ්හාව මුල් කරගෙන. උත්සාහය නැතිව ගාථා දාගෙන ඉඳලා, ස්වීප් ටිකටි කියන සූදුවෙන් ජීවිතේ ගොඩ යන්න හදනවා. දැන් මේ එෆ් එම් චැනල් පිරිතුත් ‍‍ෆෙං ෂුයි වගේ කරලා.

ගාථාව ඉවර වුණ ගමන්, `පැණි රස කෑම දිව ගාලා කංසා බොන්න සොඳා, ඔබ වැතිරීලා උඩුකුරුව සයනේ ඉන්න සුදා` කියලා සිංදුත් යනවා. රේඩියෝ නාලිකාවල තව ලස්සන වැඩක් කරනවා. ලස්සනම වැඩේ උන් කියනවා, අපේ නාලිකාවේ තමයිලු හරියටම ඝණ පිහිටුවලා පිරිත් කියන්නෙ. අනික්වයෙ ඝණ වැරදි නිසා, ගුණ නැතිලු. මහ රෑ 12ටත් පිරිත් යනවා. ඔය වෙලාවට කවුරුත් ඔය එෆ් එම් නාලිකා අහන්නෙ නැහැනෙ. දවසෙම වාචාලකමට දොඩවන නිවේදකයන්ට, කවුරුත් රේඩියෝ අහන්නෙ නැති මහ රෑටත් ගෙවීම් කරන්න ඕන නැති නිසා, පිරිත් තැටිය දාලා රේඩියෝ නාලිකාවෙ උන් නිදා ගන්නවා.

නිවේදකයො ගැන වෙනම ලියන්න ඕන දවසක. ළඟදි එක ජනප්රියතම නිවේදිකාවක්  කියනවා `ලෝකෙ හැදිලා තියෙන්නෙ හිරුගෙ රැස්වලින් හා බීට්ල්ස් මියුසික් වලින්` කියලා කියමනක් තියෙනව කියලා. අපි නම් කියවලා තියෙන්නෙ `ලෝකෙ හැදිලා තියෙන්නෙ හිරුගෙ රැස්වලින් හා අම්මගෙ කිරි වලින්` කියලා මැක්සිම් ගෝර්කි ලියපු දේ. මැක්සිම් ගෝර්කිට ඕක ඇහුණ නම් ජපන් ක්රමේට බ‍ඩ කපන් මැරෙනවා.

කොහොම හරි මේ මහ රෑ යන පිරිත් පෙන්නන්නෙ දවසම සුභ කරන මහා සත්කාරයක් විදියට. ඒත් ඇත්ත කතාව තමයි මේ වෙලාවට පිරිත් තැටියක් දාලා නිදා ගන්න එක උන්ට ලාභ වගේම ලේසි වීම. පිරිත් මැද්දෙ බයිලා මියුසික් එක්ක වෙළඳ දැන්වීමුත් යනවා. ඔය වෙලාවට පිරිත් අහන්නෙ මදුරුවො ක කා නයිට් ඩියුටි කරන උන් නිසා, මදුරු කොයිල් ඇඩ් තමයි නැඟලා යන්නෙ. ඇඩ් යන නිසා ඒ ඒ නාලිකා තමුන්ගෙ පිරිත් ඉස්තරම් කියලා ඇඩ්වටයිස් කරලා මාකට් කරනවා.

අපි පොඩි කාලෙ ඉස්කෝලෙ යන්න ඇහැරුණේ පාන්දර ගිහිපු පිරිත් එක්ක. ඉතිපිසෝ ගාථාව යන කොට මම නිදි කිර කිර අම්ම හදල දීපු උදේ තේ එක බොනවා. ඒ දවස් වල අපි වෙලාව දැන ගත්තෙ පිරිත් වලින්. ඒ ඒ පිරිත පටන් ගන්න වෙලාව අනුව තමයි තේ එක බොන්නේ, මූණ හෝද ගන්නෙ, වැසිකිළි යන්නෙ, ඇඳුම් අඳින්නෙ, ගෙදරින් පිට වෙන්නෙ. ඒ උදේ පිරිත් දේශනාව දවසම සිරියාවන්ත තරනවා, ආරක්ෂා කරනවා. උදේ නඟින ප්රයිවට් බස් එකෙත් ෆස්ට් ට්රිප් එක පටන් ගන්නෙ රේඩියෝ එකේ පිරිත් දාලා. කොළඹ ගෙන්දගම් පොළොවෙ හැප්පිලා, ජීවිත සටනෙ ‍යෙදෙන්න යන මිනිස්සුන්ට, ඒ බස් පිරිත මහා ආශිර්වාදයක්. ඔය හේතු දෙක නිසා ළඟ පාත ක්රිස්තියානි ගෙවල්වලත් උදේට පිරිත් දැම්මා. ඒත් දැන් නම් රේඩියේ චැනල් වලින් පිරිත් දවස තිස්සෙ පට්ට ගහලම ඒවා ඉරාජ්ගේ සිංදු ගානට දාලා.

ළඟදි මගේ යාලුවෙක් කියනවා, `මචං, සෙනසුරාදට මම බෝඩිමේ ඉඳලා ගෙදර යන්නෙ ටිකක් නිදා ගන්න හිතා ගෙන. ඒත් මොන නින්දක්ද බං. නින්දෙ හොඳම හරියෙදි මහ රෑ තුනට විතර, අපේ අම්මා මහ හයියෙන්‍ රේඩියෝ එකේ පිරිත් දානවා. ඊට පස්සෙ මොන නින්දක්ම බං. මුලු දවසෙම ඇඟට ෆිට් නැහැ. දැන් මම ඔය පිරිත් සීන් එක නිසා සෙනසුරාදට ගෙදර යන්නෙත් නැහැ`.

සුභ ඵල මොනවා වුණත්, මේ විදියට පිරිත් දාන එක ගෙදරක රණ්ඩු සරුවල් පටන් ගන්න හූනියමක් වෙනවා.

කොයි දේටත් වෙලාවක්, කලාවක් තියෙනවා. ළඟදිම එෆ් එම් නාලිකා මිනිස්සුන්ට බුද්ධාගමත් එපා කරවනවා. එතකොට ඉතින් බුදුන්ටත් දෙයියන්ගෙම පිහිටයි කියලා තමයි කියන්න වෙන්නෙ

5 comments:

  1. නියමයි බන් . .

    සිරාවට ලියලා තියෙනවා . . ..

    උපරිමයි . .

    දිගටම ලියන්න . .

    මගේ ෆේස් බුක් එකෙත් ශෙයා කලා ඕන්

    ReplyDelete
  2. අඩේ....... ෆට්ටයි............... සිරාම සිරා අවාසනාවට ඇත්ත කතාවක්...............

    අඩේ දුකා අයියා තැන්කූ ඈ....... බස් එකෙත් ෂෙයාර් කොරල අපිටත් කියවන්ට සැලැස්සුවට..........

    මම නම් ඉතින් බුද්ධාගමේ නෙමෙයි....... ඒත් ඇත්තටම මේ වගේ දේවල් ටිකක් මටත් හිතිල තිබ්බා........ ( ටොමිය කියනව වගේ )

    "මම දන්නවා ටොමියා මේ කියල තියෙන්නෙ මොන නාලිකාව ගැනද කියලා....... ( විෂේෂයෙන් සඳහන් නොකරත් )"

    මේ එෆ් එම් නාලිකාවල ඉන්න කාලකන්ණි යක්කු ආගම ධර්මයත් විකුනන් කන්න උපන් පාහර හැත්තක්......... තුක් නොදෝකින්......

    මචං ටොමියා කීප් ඉට් අප්............ ඔබට සදා ජය :)
    මීට ජේ.ඩී කොලුවා............

    ReplyDelete
  3. ඉස්සරනම් පෝය දවසට ගෙදර ඉන්න එක නියමයි හොඳට නිදා ගන්න පුළුවන් නිසා ඒත් දැන් නම් පෝයට වැඩට යන්න තියේ නම් හොඳයිකියලා හිතෙනවා දවසම කනක් ඇහිලා ඉන්න නැති නිසා

    එෆ් එම් වලින් යන සිංදු වලට වෙච්ච දේම වැඩි කල නොගිහින් ඔය මහා බලගතු යන්තර මන්තර වලටත් වෙයි

    ReplyDelete
  4. අම්මපා ඇත්ත ....

    ReplyDelete
  5. //ඇත්තටම ඝණ පිහිටුවලා කීවහම මේ බුදු ගුණ මන්තර වල ලොකු බලයක් තියෙනවා//
    මේක දැම්මෙ සැර බාල කරන්නද?
    සමස්තයක් හැටියට නියම පෝස්ට් එකක්.
    (දුකාට ස්තුතියි මේක බස් එකේ පබ්ලික් කොලාට)

    ReplyDelete