Thursday, November 4, 2010

ලංකාවට ගහපු ලොකුම හෙණ දෙක෴

ලංකාවේ ආණ්ඩුවේ ආයතනයකින් වැඩක් කර ගන්න ගියහම තියන අමාරුව කවුරුත් දන්නවා. සමහර වෙලාවට එතැන වැඩ කරන කෙනෙක්ට වුණත් වැඩක් කර ගන්න ගියහම ලේ රත් වෙනවා. සමහර වෙලාවට වැඩ කරපුවට පඩි ගන්න මැරෙන්න වෙන්නෙ, හරියට ණයක් ගන් ගියා වගෙයි. විනාඩි පහෙන් කරන්න පුලුවන් වැඩේ නොකරන්නත්, අනුන් පිට වරද පටවන්නත් අපේ රජයේ සේවකයො හරිම දක්ෂයි. ඒ අයට පඩි ගෙවන්නෙ මොකටද කියලා උන් දන්නෙ නැහැ.

ඒත් දැන් ගහලා තියෙන්නෙ ඊටත් වඩා ලොකු හෙණයක්. දැන් ආණ්ඩුවේ කණ්තෝරුවකට ගිහින් වැඩක් කරගන්න නෙවෙයි, ආපු කාරණය කියා ගන්නත් අමාරුයි. උන් ඔක්කොම අර උපහාර මඟුල නිසා, වැඩ (නො)කරන පැය අටේම මොබයිල් ෆෝන් එකේ එල්ලිලා. නාකි හුචක්කුත් මල් කඩනවා. ලංකාව වටේම ඉන්න වැඩක් නැති අනෙක් රජයේ සේවකයන්ටයි, ගෙවල්වල ඉන්න නාකි මරගාත, කාලකණ්ණි හැමෝටම කතා කරනවා. ෆෝන් එකෙන් කෑම වට්ටෝරු, නඩු හබ, හවසට ගේන බඩු ලිස්ට් එක, අහල පහල ඕපා දූප, දේශපාලනය ආදී එකී මෙකී නොකී සේරම සංවාද පැය ගණන් යනවා. අතේ මදුරුවෙක් වැහුවත්, වටේටම කෝල් කරලා ඒක කියනවා. ඒක ඉතින් ඩෙංගු ගැන පැයක සංවාදයක් බවට පත් වෙනවා.

එකෙක් එක්ක විනාඩි හතළිස් පහක් විතර කතා කරලා, බුදු සරණයි බායි! කියලා ‍මොබයිල් ෆෝන් එක තියන කොට, වැඩක් කර ගන්න ආපු මිනිහට දැනෙන්නෙ හරියට අවුරුදු ගාණක් ඇදිච්ච ඉඩම් නඩුවක් දිනුවා වගේ මාරම සනීපයක්.. ඒත් ඒ සනීපෙ දැනෙන්නෙ `එක්සකියුස් මී` කියලා කර ගන්න ආව වැඩේ කියන්න කට ගන්නකං විතරයි. `වකා වකා වකා හේ හේ දිස් ටයිම් ‍ෆෝ ඇෆ්රිකා` කියලා ආයෙත් අරූගේ ෆෝන් එක වදිනවා. පොඩ්ඩක් ඉන්න කියලා අතින් පෙන්නන ගමන්, ඒ කාලකණ්ණියා ඉතියෝපියාවෙද කොහෙද ඉන්න හොර ගෑණියෙක් එක්ක මල් කඩන්න ගන්න කොට, වැඩේ කරගන්න ආපු මිනිහට, ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ගෙ ඉඳන්, උපහාර ඇඩ් එකේ හිටපු කපු මහත්තයා දක්වා, ටෙලි‍ෆෝන් සම්බන්ධ හැම එකාගෙම මව් පි‍යො සිහි වෙනවා.

මිනිහගෙ මොබයිල් ෆෝන් එක සාක්කුවෙ දා ගන්නෙ හවස හයට. ඒ වෙලාවට තමයි ඔය නොමිලේ ඇමතුම් (අ)පහසුකම ඉවර වෙන්නෙ. යාන්තම් ඉවරයි කියලා හිතලා `එක්සකියුස් මී` ගාලා ආ වැඩේ කියන්න හදනකොටම, `මේ වෙලාවෙ වැඩක් කර ගන්න එන්නෙ තමුසෙට පිස්සද? මම මේ ඕටී පැය එකහමාරකුත් කරලා යන්නයි හදන්නෙ` කියලා අර රජයේ සේවකයා කියනවා. පැය හතරක් විතර තමුන්ගෙ ඉස්සරහ වැඩක් කර ගන්න ආපු මනුස්සයෙක් හිටගෙනම හිටියා කියලවත්, මිනිහා දන්නේ නැහැ. එච්චරටම සිම් කාඩ් එකක් වගේ, ෆෝන් එක ඇතුළෙ බැහැල තමයි මිනිහා ඉඳලා තියෙන්නෙ.

දැන් රජයේ කණ්තෝරුවල ලිපි අස්ථානගතවෙනවා වැඩියි. ‍සමහරැ ‍ ෆෝන් එකෙන් මල් කඩන ගමන් අසිහියෙන් මේසෙ උඩ තියන ලියුම් වල, මල්, බෝල, හාට් වගේ දේවල් අඳිනවා. සමහරු කතා කරන ගමන් කොලෙන් චුට්ට චුට්ට ඉර ඉර ගුලි කරනවා. පස්සෙයි වැඩේ දෙල් වෙලා කියලා මීටර් වෙන්නෙ. එතකො‍ට ඒවා ගුලි කරලා ෂේප් එකේ කුණු කූඩෙට දානවා. මේක තමයි ලිපි අස්ථානගතවෙන්න හේතුව.

මෙගා නාට්ටිය බලන අපේ ගෑණුයි, ටෙලි‍ෆෝන් එකේ එල්ලිලා ඉන්න රජයේ සේවකයොයි දෙගොල්ලම එකයි. ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද කියලා හැඟීමක් නැහැ. කුඩු ගහලා වගේ. ඇඳන් ඉන්න ඇඳුම කවුරු හරි ගලවගෙන ගියත් දන්නෙ නැහැ. හැබැයි මේ අය වැඩි හරියක් ටෙලි‍ෆෝන් එකෙන් කතා කරන්නෙ කිසිම වැඩකට නැති බහුබූත. නොමිලේ කතා කරන්න හම්බුනාම ඉතින් බැට්රිය බැහැල මිසක් ෆෝන් එක තියන්නෙ නැහැනෙ අපේ උදවිය.

ලස්සනම වැඩේ කියන්නෙ පෙන්ෂන් ගිය අපේ අම්මත් උපහාර පැකේජ් එකක් අරං. ලොකු අම්මගෙ, පුංච් අම්මගෙ ඉඳන් යන්තම් බහ තෝරන්න ගත්ත අයියගෙ බබාට වෙනකම් කෝල් කරනවා. වැඩක් ඇති මඟුලකට නෙවෙයි. නිකං තියෙන නිසා කෝල් කරනවා. මාර වැඩේ කියන්නෙ, මට අම්ම එක්ක කතා කරන්නත් දැන් හය වෙනකම් ඉන්න වෙලා.

ලංකාවට ගහපු ලොකුම හෙණේ තමයි මෙගා ටෙලි නාට්ටිය. මට හිතෙන විදියට දෙවෙනියට ලොකුම හෙණේ තමයි, මේ කාලෙ කන නොමිලේ ඇමතුම් උපහාර පැකේජ් එක. මොනා කරන්නද? මොනවා වුණත් ඉතින්, වැදගත් අංකයක්නෙ.

2 comments:

  1. "ඉතියෝපියාවෙද කොහෙද ඉන්න හොර ගෑණියෙක් එක්ක මල් කඩන්න ගන්න කොට, වැඩේ කරගන්න ආපු මිනිහට, ඇලෙක්සැන්ඩර් ග්රැහැම් බෙල්ගෙ ඉඳන්, උපහාර ඇඩ් එකේ හිටපු කපු මහත්තයා දක්වා, ටෙලි‍ෆෝන් සම්බන්ධ හැම එකාගෙම මව් පි‍යො සිහි වෙනවා."

    යකෝ මාව මැරෙන්න ගියා මේක කියවලා හිනා ඉස්පොල්ලේ ගිහිල්ලා . . පට්ටයි ඈ . .

    ReplyDelete
  2. කවුද බොලේ මේ ටොමී??????????

    වැදගත් මාතෘකාවක් සරළ විදිහට අප අතරට ගෙනැත් තියෙනවා......

    තව ඉදිරියටත් ‍මෙවැනි දේ බලාපොරොත්තු වෙනවා

    ReplyDelete