Monday, October 18, 2010

සංගීතයේ සොඳුරුතම නිමේෂය

ඒ මම උසස් පෙළ පන්තියෙ ඉන්න කාලේ. එදා අනිවාර්යයෙන්ම බ්රහස්පතින්දා දවසක් කියල නම් විශ්වාසයි. මොකද මම ක්රීඩා පුහුණුවීම්වලට ඉස්කෝලෙ නැවතුනෙ බ්රහස්පතින්දා නිසා. එදත් පහට විතර පුහුණුවීම් ඉවරවෙලා එනකොට හොඳටම වැස්ස. යන්තම් මරදානෙන් බස් එකක එල්ලිලා පිට කොටුවට ආවේ, කාර්යයාල වෙලාවට බස් එකේ මොරටුවට හිටගෙන එනවා කියන්නේ තවත් ක්රීඩා පුහුණුවීමක් වගේ නිසයි.

බස් එ‍කේ පොල් පටවලා වගේ සෙනඟ. මහ වැස්සෙ ඉක්මනට ගෙදර යා ගන්න සොබා දහමත්, පොදු ප්රවාහනයත් එක්ක ‍පොරබදින මල්ලවපොරකරු‍වො වගෙයි මට ඒ සෙනඟ පෙනුනෙ. ඒ දවස්වල වැඩි හරියක් තිබුණේ පොඩි රෝසා බස්. දැන් නම් ඒවාට මාර්ග බලපත්ර දෙන්නෙ නැති නිසා ඔක්කොම තියෙන්නෙ ලොකු නැව් වගේ ලේලනඩ් බස්.

මොර සූරන වැස්සක් කියලා කියන්නෙ එදා තිබ්බ විදියේ වැස්සකට. වැහි අඳුර අතරෙන් පේන විදුලිය අහසේ ලස්සන රේඛා රටා මවන්නෙ, වැස්ස වළාහක දෙවියෝ අහසේ අඳින රිදී ඉරි වගෙයි. ඊට පස්සෙ දෙවියො තමුන්ගෙ බල පරාක්රමය පෙන්නන්න වගේ මේඝ ගර්ජනා කරනවා. ඒ හඬට බයෙන්, පාරේ බස් නැවතුම්වල ඉන්න වැඩ ඇරිලා යන ගෑණු ළමයි ඇස් තද කරගෙන කණ් දෙක වහගන්නෙ හරිම අසරණ විදියට.

බස් එකේ ජනේලය අස්සෙන් එන වතුර බින්දු මගේ බෑග් එක උඩට ටොක් ටොක් ගාලා වැටෙනවා. තෙමීගෙන බස් එකට නගින මිනිස්සු, ලේන්සුවලින් තරඟෙට වගේ තෙම්ච්ච ඔලු පිහදාන‍වා. අනෙක් අයගෙ, කුඩවලින් ‍බේරෙන වතුර පුංචි දිය පාරක් වගේ බස් එකේ බිම දිගේ ගලා ගෙන යනවා. වැස්සේ හඬ පරයමින්  `පස්සට යන්න, පස්සට යන්න` කියලා උස් හඬින් කෑ ගහලා, මිනිස්සු බස් එක ඇතුලේ ගාල් කරගත්ත කොන්දොස්තර `හරේ යං` කියුවා. බස් හෝල්ට් එකේ ඉහළින් වැටෙන වැස්සෙන් බේරෙන්න උත්සාහ ගන්න මිනිස්සුන්ට, `චරාස්` ගාගෙන පහළින් මඩ වතුර පාරක් ඉහගෙනම බස් එක ඉගිල්ලුනා. ඒකෙන් බේරෙන්න දුර පැනීම් කළ ‍බොහෝ දෙනෙක්, පරාජය භාර ගන්න අකැමැත්තෙන් වගේ බස් එක යන දිහාවට අත දික් කරමින් රියදුරුගෙ මව් පියන්ට පිං දෙනවා වම් පැත්තෙ ජනේලයෙන් මට පෙනුණා.

කොහොමින් කොහොම හරි බහින්න ඕන තැන ළං වුණා. වැස්ස තවත් තද කරලා. කලුවරයි. අම්මා උදේ කුඩයක් අතට දුන්නත් උසස් පෙළ කාලෙදි හැදෙන පණ්ඩිතකම කියන ලෙඩේ නිසා ඒක අරං ආවේ නැහැ. මම බස් එක නවත්තන්න වේගෙ අඩු කරද්දිම, පා පුවරුවෙන් පැන්නා. ඒ වේගෙටම දුවලා ගිහින් පාර අයිනෙ තිබුණ සුපර් මාකට් එකේ හුඩ් එක යටට රිංගලා, ලේන්සුවෙන් ඔලු පිහිද පිහිද හිටපු මිනිස්සුන්ගෙ ගොඩට එකතු වුණා. අමතර පන්ති ගිහින් එන ලස්සන ගෑණු ළමයකුත් පාසල් නිල ඇඳුම පිටින්ම ඒ ගොඩේ හිටපු නිසා තෙමී ගෙන මීටර් 400 දුවලා ගෙදර යන්න තිබුණ හදිස්සිය නැවතුනා.

මිනිස්සු ඔක්කොම වැස්සට සාප කර කර අහස දිහා බලන් ඉන්නෙ කොයි වෙලාවෙ වැස්ස පායයිද කියලා. විදුලිය මුලු පළාතම එළිය කරනවා. විදුලි ගහන පාරක් පාරක් ගානෙ මම අර ගෑණු ළමයගෙ ටෝච් එකක් ගහල වගේ එළිය වුණ මූණ දිහා බලනවා. බයවෙච්ච හා පැටියෙක් වගේ ඒ ළමයා ඇස් කණ් පියාගන්නවා.

ඔන්න ඒ අස්සෙ තමයි රැවුළයි වවාගත්ත කිලුටු ඇඳගත්ත හිඟන්නෙක් ඔතනට පහත් වෙන්නෙ. අවුල් වෙච්ච කොණ්ඩෙන් වතුර බේරෙනවා. සුපර් මාර්කට් එක දිහාවට මිනිහා හෙමින් හෙමින් ඇදුණේ කිසිම වැස්සක් වහින්නෙ නැහැ වගෙයි. විශාඛාවට පස්සෙ, වැස්සෙ ඒ වගේ ඇවිදින්නෙ මේ මනුස්සයා විතරක්ම වෙන්න ඇති කියලා මට හිතුණා.

රැවුල ගිනි ගත්ත වෙලාවෙ සුරුට්ටු පත්තු කරනවා වගේ, වැස්සෙන් බැට කන වෙලාවෙ හිඟා කන්න එන මේ මිනිහාව සතේකට මායිම් නොකළ තෙතබරිත වුණු මිනිස්සු, අහස දිහාම බලා ගෙන හිටියා. පුදුමයකට වගේ අහක බලා ගත්ත මිනිස්සුන්වත් සතේකට ගණන් නොගත් හිඟන්නා සුපර් මාර්කට් පඩිය උඩ වාඩි වෙලා ඔලෝගුව ඇතුළෙ මොනවදෝ හොයන්නට වුණා. දවසේ ආදායම ගණන් කරන්න කාසි අහුරක් ඔලෝගුවෙන් ගනියි කියලා බලා හිටපු මට, ඉක්මණින්ම මගේ අදහස වෙනස් කර ගන්න සිද්ධ වුණා. කාසි වෙනුවට ඔලෝගුවෙන් එළියට ආවෙ මවුත් ඕගන් එකක්.

මවුත් ඕගන් වාදනය කරලා සල්ලි හොයන හිඟන්නෙක්ගෙ පෙන්ම මේ මනුස්සයට තිබුණෙ නැහැ. මේ මිනිහා මවුත් ඕගන් ගහලා මෙතනිනුත් කීයක් හරි හොයාගන්නද යන්නෙ වගේ හැඟීමකින් මිනිස්සු හොරැහින් හිඟන්නා දිහා බැලුවා. ඒත් මේ හිඟන්නට නම් වට පිටාව ගැන කිසි හැඟීමක් තිබුණෙ නැහැ.

මවුත් ඕගන් එක අතැඟිලිවල රඳවගෙන මේ මහලු මිනිහා වාදනය ආරම්භ කළා. ජෝතිපාලගේ ගීතයක් මියුරු හඬින් වාදනය වෙන කොට වැස්සට සාප කරමින් රැඳී හිටපු අය ඔහුගේ ශ්රාවකයන් බවට පත් වුණා. මහල්ලාට නම් වට පිටාව ගැන කිසිම හැඟීමක් නැහැ. ඔහු ඔහුගේම ලෝකෙක තනි වෙලා වාදනය කරනවා. ටිකින් ටික මිනිස්සුත් වැස්ස ගැන හැඟීමෙන් මිදිලා අපේ වාදකයාත් එක්ක ඒකාත්මික වෙලා. වාදකයා දෑස් පියාගෙන නොනතවා වාදනය කරන්නෙ ලෞකික බැඳීම්වලින් එහා වෙනත් තලයක හිඳගෙන වගෙයි මට දැනුණෙ. වැස්ස, විදුලිය, අඳුර, සීතල, මවුත් ඕගන් වාදනය හා එක්ව අපූරු සෞන්දර්යයාත්මක වටපිටාවක් මැව්වා. මහල්ලා තමාගේ මවුත් ඕගන් වාදනයෙන් ඉහල ආත්ම වින්දනයක් ලබමින්, විඩාබර මිනිසුන් සංගීතයෙන් මෝහනය කළේ, දෙව් ලොවින් බට පන්සිලු වීණා වාදනයක් කරන්නා වගේ. විවිධාකාර සංගීත විඳ තිබුණත්, මා වඩාත්ම මෝහනය කළ සංගීත සුයාමය වාදනය වෙමින් තිබුණා. සංගීතයෙන් ඒකාත්මික වන හිමාල යෝගීන් ගැන කියවූ මට හිතෙන්නේ එදා නම් ආවේ ඒ වගේ කෙනෙක් කියලා. ඒත් එහෙම නොවන වග මම දන්නවා. ඒ මොහොත සංගීතයේ චමත්කාරයෙන් මත්වුණු දිව්යමය මොහොතක්.

වැස්ස අඩුවුණ නිසි අපේ මහා සංගීතවේදියාට සමු දුන් මම, සොබා දහම මවපු සංගීත වේදිකාවෙන් නික්මිලා ගෙදර ගියා. ඉන් පස්සෙ කවදාවත් මේ මහල්ලව මම දැක්කේ නැහැ.

අදටත් මම විඳපු සෞන්දාර්යයාත්මකම සංගීතමය නිමේෂය මහ වැස්සෙ, සුපර් මාකට් පඩිය උඩ, ඒ හිඟන්නගෙන් අහපු චමත්කාරජනක සංගීතයමයි. ඕනම කලාවක් නිර්මාණය වුණේ කලාකරුවගේ ආත්ම වින්දනයට කියලා මම හිතන්නෙ ඒකයි. කලාකරුවා ප්රේක්ෂකයො හෝ ශ්රාවකයො හෝ තමාගේ ආත්ම වින්දනය හා ඒකාත්ම කර ගන්නවා. ඒක සංගීතය, චිත්ර, නැටුම්, සාහිත්යය විතරක් නෙවෙයි සටන් කලාවට වුණත් පොදුයි.

අද කාලේ තියන සින්දු, සංගීතය, ඒවා කියන ඒකාටවත් විඳින්න බැහැ. ඒවයෙ විඳින්න රහක් නැහැ. ඒත් රූපවාහිනී, ගුවන් විදුලි, බස් සිංදු මගින්, බලෙන්ම ඒවා විඳවන්න නම් අපිට අවස්ථාව නිතරම වගේ ලබා දෙනවා. අද ඉන්න ඩීජේලාවත් ඔවුන්ගේ නිර්මාණවත් මගේ හිතේ රැඳෙන්නේ නැහැ. ඒත් මේ මහලු වාදකයා හා ඒ චමත්කාරජනක නිමේෂය අදත් මගේ හිතේ සටහන්ව තියෙනවා විතරක් නොවෙයි, අදටත් බාහිර ලෝකයෙන් මිදුණු දිව්යමය අත්දැකීමකට ගෙනියන්න ඒ මතකයට පුලුවන්.

2 comments:

  1. මම මේ ලියමන රසවිඳි තරමින් ඔබ ඒ මොහොත රසවිඳි තරම ගැන ඇතිවන්නේ ඊර්ශ්‍යාවකි.

    ReplyDelete
  2. උදේට බස් හතරකුත් හවහට බස් පහකුත් හරහා ගෙවුණු අවුරුදු දහයක කාලයට මාව ආයෙමත් ඔබ ගෙනගියා...!
    ඔය වාගේ අවස්ථා කිහිපයක් ඒ කාලය තුල මගේ කණ වැකී තියනවා...
    කදිම ආවර්ජනයක්....
    කදිම සිහිකැඳවීමක්...

    ReplyDelete