Saturday, November 6, 2010

එක්ස්කැවේෂන් ඉංජිනියර්෴

මේ කතාව ලියන්න ඕන කියලා මට හිතුණේ, අනුර හෑගොඩ මහත්මයා, ඉරිදා දිවයිනට ලියපු `පාන් සාඩින්/ සාඩින් පාන්` කියන කොලම් ලිපිය කියෙව්වට පස්සෙ. ඒ ලිපිය කියවන්න ඕන නම් මෙන්න ලින්ක් එක. හරිම රහ ලිපියක්.

මම කියන්න යන සිද්ධියත් මීට ටිකක් සමානයි. මේ කතාව මම ඇහුවෙ අපේ තාත්තගෙන්. සෑහෙන පරණ කතාවක් නිසා, තාත්තට මතක නැහැ මේක පත්තරේක පළ වුණ එකක්ද, කවුරු හරි කියපු කතාවක්ද කියලා. ‍
ඒක නිසා මේ කතාව කවුරු හරි කලින් පත්තරේකට ලියපු එකක් නම්, අනවසරයෙන් කතාව ආයෙත් කැතට ලියපු එක ගැන එතුමගෙන් සමාව ඉල්ලනවා.

බටහිර රටවල රැකියාව කරන ‍අපේ ගොඩක් සහෝදරයන් මෙහෙදි කියන රැකියාව සහ එහෙදි කරන රැකියාව අතර ලොකු වෙනසක් තියෙනවා. අනික පාරේ බලු ගූ අයින් කරන එකාටත් පොෂ් ජොබ් ටයිටල් එකක් හෙවත් තනතුරු නාමයක් තියෙන නිසා, ඒ නම අහන කෙනෙක්ට හිතෙන්නෙ පොර පශු වෛද්‍යවරයෙක්වත් වෙන්න ඇති කියලා. ලංකාවෙත් සමහර පුද්ගලික ආයතනවලත් මේ වගේ බර වෘත්තීය නාම දෙනවා. එක අතකට දරුවගේ උප්පැන්න සහතිකේ පියාගේ රැකියාව කියන තැනට, බරපතළ වචනයක් දාගන්න පුලුවන් නිසා ඒකෙ මානුෂික පැත්තෙන් වරදකුත් නැහැ.

කොහොම හරි මම කියන්න යන මේ කතාවේ එන තරුණ සිංහල මිත්රයා හිටියෙ එංගලන්තෙ. රැකියාව එක්ස්කැවේෂන් ඉංජිනියර්. මගෙත් ඉන්නවා ගොඩක් මයිනින් ඉංජිනේරු යාලුවෝ. ඉතින් අපේ මේ යාලුවත් ඒ අය වගේම එංගලන්තෙ කැණීම් ඉංජිනේරුවරයෙක්.

අපේ යාලුවා විවාහ වෙන්න ඕන කල වයසත් පහු වේගෙන ආ නිසා, ලංකාවට ඇවිත් විවාහ වෙලා, දෙන්නත් එක්කම එංගලන්තෙට යන්න කියලා දෙමාපියන්ගෙන් එන බර බරේ ටික ටික වැඩි‍ වෙන්න ගත්තා.

අම්මගෙ බර බරේ හොඳටම වැඩි වුණ පාර යාලුවා විවාහ වෙලා යන්න කියලා හිතාගෙන උපන් බිමට ආවා. ඒ වෙන කොටත් ගෑණු ළමයි සීයක් විතර ඇප්ලිකේෂන් දාලා. එංගලන්තෙ ඉන්න එක්ස්කැවේෂන් ඉංජිනියර් මහත්තයෙකුට දුවව සෙට් කරන්න අම්මලා දඟලපු හැටි හිතා ගන්න පුලුවන්නෙ. අනික බැඳලා අනික් පැත්තට එංගලන්තෙට යන්නනෙ. ඒ ගෑණු ළමයි බලන්න ගෙදරකට ගියහම අපේ යාලුවට සලකන්නෙ එංගලන්තෙ විලියම් කුමාරයා දූව බලන්න ආව වගේ. තමුන්ගෙ නොදන්නකම පෙන්නන්න ඕන නැති නිසා කවුරුවත් රස්සාව ගැන වැඩි යමක් යාලුවගෙන් අහන්න යන්නෙ නැහැ. මොනා වුණත් ඉතින් එංගලන්තේ එක්ස්කැවේෂන් ඉංජිනයර් කෙනෙක් කියුවම තව මොනවා අහන්නද? එක්ස්කැවේෂන් කියන වචනෙ වුණත් කියා ගන්න ගොඩක් අයට අමාරුයිනෙ.

සුද්දට වඳින අපේ සිරිත අනුව එංගලන්තෙත් නැති ඉංග්ලිෂ් කෑම ඒ ගෙවල් වලින් යාලුවට දෙන්නෙ බකිංහැම් මාළිගේ රාජකීය කෑම මේසෙ වගෙයි. අපේ යාලුවත් නයාව මුලු එංගලන්තෙම බඩ ගාවනවා. අන්තිමේ කොහොම හරි අපේ ඉංජිනේරු යාලුවා චීස් කෑල්ලක් වගේ ලස්සන, සල්ලිකාර‍ පවුලක කෙල්ලක් බැඳලා එංගලන්තෙට ගියා.

ගිහින් බැලුවම අපේ ඉංජිනේරු මහත්තයා ඉන්නේ කියපු විදිය පැලස් එකක නෙවෙයි, පොඩි අපාර්ට්මන්ට් කෑල්ලක. වැඩි විස්තර නොදැන හදිසියේ බැඳපු මනමාලිට ෆුල් අප්සෙට්. ඒත් ඉතින් කිසි දෙයක් අහන්න ගියේ නැහැ. ලොකු ගෙයක් ගන්න සල්ලි ඉතිරි කරනවා වෙන්න ඇති වගේ දේවල් තමන්ටම කියා ගත්ත අලුත් මනමාලි සද්දයක් නැතිව හිටියා.

ඒත් සති දෙක තුනක් විතර යනකොට මනමාලිට මොකක් හරි ලොකු අමුත්තක් තියෙනවා කියලා තේරුණා. අ‍පේ එක්ස්කැවේෂන් ඉංජිනේරු මහත්තයා වැඩට යනවා කියලා යන්නෙ මහ රෑට. උදේ පාන්දර ඕෆ් වෙලා එන්නෙ බාගෙට මැරිලා. දාඩිය දාලා, ගඳ ගහනවා, පොඩි ෂොට් එකකුත් දාලා. ඊට පස්සෙ මුලු දවල් දවසෙම නිදි. ආයෙත් මහ රෑට වැඩට යනවා.

ටික දවසක් එච්චර ගණන් නොගෙන බලන් හිටියත්, මොකක් හරි ලොකු අවුලක් සිද්ධ වෙන බව පුංචි මනමාලිගෙ ටිකිරි මොළේටත් වැටහුණා. සති කීපයක් ඒ ගැන අහන්නෙ නැතිව කට වහගෙන හිටියත් එන්න එන්නම මනමාලිගෙ කුතුහ‍ලය වැඩි වුණා. `මම ඉතින් එංගලන්තෙ ඉංජිනේරු රස්සාවල් ගැන මොනවා දන්නවද? මෙහේ එහෙම වෙන්න ඇති` කියලා යන්තම් වයස 18ක් විතර වුණ හුරුබුහුටි මනමාලි හිත හදා ගත්තා. ඒත් අපේ ඉංජිනේරු මහත්මයගෙ දින චර්යාවෙ නම් වෙනසක් වුණේ නැහැ.

ඔහොම තව සති කීපයක් යද්දි මනමාලිගෙත් කුතුහල ලිමිට් එක පැන්නා. මේ මහ රෑ කරන කැණීම එක මොකක්ද කියලා හොයලා බලන්න මනමාලිටත් හිතුණා. (ගෑණුනෙ)

හොයලා බලනකොට අපේ යාලුවා කරන්නෙත් එක්තරා කැණීමක් තමයි. හැබැයි රස්සාව කරන්නෙ කනත්තක. කණින්නෙ මිනී වලවල්.

හැබැයි අපේ මනමාලිත් ලංකාවට ආ වෙලාවට හස්බන්ඩ් එක්ස්කැවේෂන් ඉංජිනියර් කෙනෙක් කියලා තාලෙට කට හදලා, උජාරුවෙන් කියනවා මිසක්, කණින්නේ මොනවද කියලා නම් කියුවේ නැහැ

2 comments:

  1. බලාගෙන යද්දි හරිනේ.
    එක්ස්කැවේෂන් ඉංජිනියර් තමා.
    ඔය වැඩේටත් සෑහෙන දැනුමක් ඕනෙ.
    (වතාවක් එකක් කපන්ඩ උනු නිසා මාත් දන්නවා)

    ReplyDelete
  2. මාර ඩයල් එක තමා, යාලුවත් ඉතින් ඇත්තනේ කියලා තියන්නේ කට්ටියට... හික්ස් ...

    ReplyDelete