Thursday, November 4, 2010

බුදු හාමුදුරුවොත් ක්රීම් ක්රැකර් වැළඳූ සේක෴

මේ සිද්ධිය වුණේ මම විශ්ව විද්යාලෙ දෙවන වසරෙ ඉන්න කාලෙ. අපේ ගෙදර ඉඳන් ගාලු පාරට විනාඩි දහයක් විතර පයින් එන්න ඕන. කවදාවත්ම මට ඔය පොඩි දුර බස් එකේ හරි, ත්රීවීලර් එකක හ‍රි ගියේ නැහැ. උදේ හවස පයින් එන පාරේ, ගාලු පාර කිට්ටුවට වෙන්න පොඩි පන්සලක් තියෙනවා. ඒ පන්සලේ තනි හාමුදුරු නමක් වතාවත් කර ගෙන වැඩ ඉන්නවා. පොඩි කාලයක් පාර්ලිමේන්තුවටත් වැඩම කරපු, එක කාලෙක ආන්දෝලනාත්මක දේශපාලන චරිතයකුත් වුණ මේ හාමුදුරුවන්ට, මගේ දුරින් නෑ කමකුත් තියෙනවා.

ඔය දුර නෑ කම නිසා ඊළඟ දවසේ හීල දා‍න ආරාධනාව කවුරුවත් භාර අරන් නැති වුණහම, පන්සල ඉස්සරහ පාරේ හවසට යන මට හරි, ගෙදර කෙනෙක්ට හරි කතා කරලා `හෙට උදේ දානේ පොඩ්ඩක් එවන්න පුලුවන්ද` කියලා හාමුදුරුවෝ අහනවා.

මේ සිද්ධිය වුණ දවසෙත්, මම කැම්පස් ගිහින් එද්දි හාමුදුරුවෝ `හෙට හීල දානේ පොඩ්ඩක් එවන්න පුලුවන්ද?` කියලා ඇහුවා. ඔය වගේ දේවල් ගැන මගේ මතකය ගැන, මමම හොඳට දන්න නිසා, එක තැන දුවන තැටියක් වගේ `දානෙ දානෙ දානෙ දානෙ` කියලා හිතින් එක දිගට කිය කිය ගෙදර ආවා. මම හිතුවෙ ගෙදරට එනකම්ම එහෙම ආවහම, දානෙ පණිවිඩය අම්මට කියන්න ‍අමතක වෙන එකක් නැහැ කියලා.

ඒත් ඉතින් හාමුදුරුවො වුණත් පෙර කළ අකුසල් තියෙන නිසා, විදුලිය විසන්ධි වුණහම, රේඩියෝවක් ඉබේ නතර වෙනවා වගේ, විනාඩි දහයේ පා ගමන අතර සංයමයක් නැති හිතට එන දහසක් සිතිවිලි අතරේ `දානෙ දානෙ දානෙ දානෙ` කියලා වාදනය වුණ තැටිය නොදැණිම නතර වුණා.

‍ඊළඟ දවසේ උදේ නවයහමාරට විතර මම කැම්පස් යන්න පිටත් වුණා. විදුලිය විසන්ධි වුණහම නතර වුණ රේඩියෝව, ඕෆ් කළේ නැති වුණහම, විදුලිය ආ ගමන් ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා වගේ, පන්සල ඉස්සරහ පාර දිහා බලන් හිටන් ඉන්න හාමුදුරුවො දැක්ක ගමන්, මගේ `දානෙ` තැටිය ආයෙත් වාදනය වෙන්න ගත්තා.

මගේ අසරණ පෙණුම දැක්ක හාමුදුරුවන්ට වෙලා තියෙන දේ එක පාරටම තේරුණා. `දානේ අමතක වුණා නේද?` කියලා හාමුදුරුවො අහද්දි, මම `කඩෙන් මොනා හරි අරන් එන්නම්` කියලා පන්සල එහා පැත්තේ දෙමළ කඩේට දිව්වේ, හාමුදුරුවො `නෑ නෑ ඕන නැහැ` කියද්දි. කලින් දවසේ දවල් දොළහෙ ඉඳන් වළඳලා නැති නිසා, උදේට පාන් වළඳන්න හාමුදුරුවො කැමති නැහැ. `මොරටුවෙ මිනිස්සු පාන්මයි කන්නෙ. හීලටත් පාන් අරන් එනවා. පැය ගාණක් නොකා ඉඳලා, ඒක වැළඳුවම බඩ පිපෙනවා, ගැස්ට්රික්වලට එනවා. දවල් දානෙටත් මේ පැත්තේ මිනිස්සු තෙල් දාලමයි කෑම හදන්නෙ`, කියලා හාමුදුරුවො දවසක් කියපු නිසා, මම දෙමළ කඩෙන් මුං ඇට පාර්සල් දෙකක් ගෙනත් හාමුදුරුවන්ට පිළිගැන්නුවේ, සිද්ධ වුණ අමතක වීම ගැන කණගාටුව ප්රකාශ කරන ගමන්.

`කමක් නැහැ මුං ඇට ගුණ කෑමක්නෙ` කට කොණෙන් හිනා වෙන ගමන් හාමුදුරුවො කියුවා.

මීට මාස දෙකකට පස්සෙ මේ සිද්ධියම ආයෙත් පාරක් සිද්ධ වුණා. ඒත් එදා උදේ මම කැම්පස් ගියේ දහය‍යි තිහට විතර. මම `කඩෙන් මොනවා හරි අරන් එන්නම්` කියලා කලින් දවසෙ වගේ දෙමළ කඩේට දුවන්න හදද්දි, `නැහැ නැහැ. ඕන නැහැ. මම ක්රීම් ක්රැකර් පැකට් එකක් තිබිලා, බුද්ධ පූජාවටත් තියලා, මාත් වැළඳුවා` කියලා හාමුදුරුවො කියුවහම මට තරු පෙනුණා. ගෙදරින් බැණුම් කෝටියයි. පැය විස්සක් විතර බඩ ගින්නෙ හිටපු කෙනෙකුට මගේ වැරැද්ද නිසා ක්රීම් ක්රැකර් දෙක තුනකින් බඩ ගින්න නිවා ගන්න වුණහම, වෙන කෙනෙක්නම් තව පැය විස්සක්වත් බණිනවා. ඔක්කොටම වැඩිය, අපි බුද්ධ පූජාව තියන්නෙ ජීවමාන බුදු හාමුදුරුවන්ට පූජා වේවා කියලා හිතාගෙනනෙ. මම හින්දා බුදු හාමුදුරුවන්ටත් හීල දානෙට ක්රීම් ක්රැකර් වළඳන්න සිද්ධ වුණා නේද කියලා මට හිතුණා.

කොහොම හරි ඊළඟ දවසෙ අම්ම පන්සලට ගිහින්, `පුතාට නම් දානෙ පණිව්ඩ දෙන්න එපා. දගෙදරට කෝල් කරලා කියන්න` කියලා, හාමුදුරුවන්ට කියලා තිබුණා. හාමුදුරුවොත් ඊළඟ දවසෙ දානෙ නැතත්, මං අතේ නම් දානෙ පණිවුඩ එව්වෙ නැහැ෴

1 comment: