Thursday, December 2, 2010

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. . .

කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා කියමනක් තියෙනවා අහලා ඇතිනේ. ඒත් දැන් ඉන්න පාසල් ළමයි විෂය නිර්දේශයට පිටින් අමතර පොතක් කියවන්නෙම නැහැ. ඒ කාලෙ අපිට කම්පියුටර් නැහැ. ටීවි චැනල් තිබ්බෙත් දෙකයි. ඒවාත් පහට පටන් අරගෙන, නවයහමාරට වැඩසටහන් නිමා වෙනවා. ඉතින් සෙල්ලම් නොකරන වෙලාවට පොතක් කියවනවා ඇරෙන්න කරන්න වෙන වැඩක් අපිට තිබුණෙ නැහැ.

දැන් මමත් පොත් කියවනවා හරිම අඩුයි. හැබැයි අන්තර්ජාලයෙන් නම් විවිධ දේ කියවනවා. ඒකෙ ගොඩක් හොඳ පැති තියෙනවා. නොදන්න ගොඩක් දේවල් සහ විවිධ මාතෘකා ඔස්සේ ලියපු විවිධ අදහස් පහසුවෙන් කියවන්න පුලුවන්. ඒත් සාහිත්‍යමය වටිනාකමක් තියෙන නවකතාවක් කියවන පුරුද්ද නම් නැවතිලා.

අපි පොඩි කාලේ රුසියාව, චීනෙ වගේ රටවල් ලංකාවට ගොඩක් උදව් කළා. කේජීබී ඔත්තුකාරයොත් නොහිටියා නෙවෙයි. බණ්ඩාරණායක සම්මන්ත්රන ශාලාව, ටයර් සංස්ථාව, වානේ සංස්ථාව වගේ කර්මාන්තශාලා, රටේ කර්මාන්ත සංවර්ධනයට නොමිලයේ දෙන ගමන්, සිංහලට පරිවර්තනය කරපු කතා පොත් ඒ රටවලදිම මුද්රණය කරලා ලංකාවට ගොඩක් අඩු මිලට එව්වා. ඒ කර්මාන්තශාලා ඔක්කොම වගේ පස්සේ ආපු දේශපාලනඥයෝ නිකම්ම වගේ විකුණලා දැම්මා.

මීෂා, සෝව්යට් වුමන්, චයිනා ටු‍ඩේ වගේ සඟරා ගොඩක් අඩු මිලට ලංකාවට ආවා. ඒ කාලේ තැපෑලෙන් ගෙදරටම ආපු මීෂා, සෝවියට් වුමන් සඟරා තාමත් අපේ ගෙදර තියෙනවා. රුසියන් රාදුගා ප්රකාශකයන්ගෙ වැඩ බැරි දාසගේ කතා, ලස්සන පිංතුර තිබ්බ රන් පොරොව, ජිංසෙං කුමාරි, අලුත් පාලමේ කතාව වගේ චීන පොත්, සමහර සමකාලීන මිතුරන්ට නම් මතක ඇති.

ඇමරිකාවට කඩේ යන අය දැන ගන්න ඕන දෙයක් තමයි, ඇමරිකාවෙන් කඩදාසි කෑල්ලක්වත් අපිට නිකං හම්බවෙලා නැති බව. නිකං වගේ දෙනව නම් තමයි. පස්සෙ තමයි බිල එන්නෙ. ඇමරිකන් හිඩ්න් චාජස් ව්‍යාපාර සංස්කෘතියෙ හැටි එහෙම තමයි.

දැන් කාලෙ ළමා පත්තරයක් ගත්තොත් ඒවයේ කියවන්න දෙයක් නැහැ. ඒකෙ තියෙන්නෙ පාඩම් සහ අභ්‍යාස විතරයි. මෙගා නාට්‍ය බලන අපේ අම්මලත්, පොඩි උන් අමතර පොතක් කියවනවට කැමති නැහැ. `ඔය කතා පොත් විසි කරලා, පාඩම් වැඩක් කර ගන්නව ළමයො``, කියලා ටීවි එක දිහා බලාගෙනම අම්මලා කෑ ගහනවා.

‍අපි පොඩි කාලේ කියවන්න තිබ්බේ ළමා පත්තර දෙකයි. ලේක්හවුස් එකෙන් ගහපු අතුරු මිතුරු පත්තරෙයි, උපාලි එකෙන් ගහපු බිංදු පත්තරෙයි. හැබැයි ගණන් අභ්‍යාස වෙනුවට, ඒවයේ කියවන්න ගොඩක් දේවල් තිබ්බා.

ජේවීපී කාලේ ලේක්හවුස් පත්තර මිලදී ගැනීමට ‍ජේවීපී කැළෑ තහනම දාපු කාලේ, රීගල් එක ඉස්සරහ පේව්මනට් එකෙන් ගන්න අතුරු මිතුරු පත්තරේ, තාත්තා කමිසේ ඇතුළෙ දාගෙන හංගගෙන ගේනවා තාමත් මට මතකයි.

දැන් ජේවීපී කරන කැම්පස් කොල්ලෙක්ගෙන් දාස් කැපිටාල් ගැන ඇහුවොත්, ඒක කොහේ අගනුවරද කියලා අහනවා. ඉස්සර `කියුබාවට අත නොතබනු` කියලා පෝස්ටර් ගහපු අය, දැන් කියුබාව තියෙන්නේ මොන මහද්වීපෙද කියලවත් දන්නෙ නැහැ. කාල් මාක්ස් කියුබන් කාරයෙක් කියලා හිතාගෙන ඉන්න ඒ අය, චේ ගුවේරා මළේ කියුබන් විප්ලවේ කරන්න ගිහින් කියලා හිතන් ඉන්නවා. ඒත් ස්ටයිල් එකට චේ ගුවේරා ෆොටෝ එකක් කාමරේ ගහන් ඉන්නවා. ලොකු නන්ස්ටොප් කයිවාරු නම් ගහනවා, උන් තරම් දන්න උන් ඉතිහාසෙවත් හිටියෙ නැහැ වගේ.

කැම්පස්වල දැන් ඉන්න ගැහැණු ළමයි කියවන්නෙ `රතු රෝස, නිල් මහනෙල්, සුදු ඕලු` වගේ මල පොත්. පාසල් ගුරුවරියො කියවන්නෙත් මේවම තමයි. ළමයන්ටත් ඉතින් මල් සරණයි. මේ අය ටෝල්ස්ටෝයි, ගෝර්කි, චෙකොෆ්, ගී ද මොපසාං, වික්ටර් හියුගෝ, හෙමිංවේ වගේ නමක් අහලවත් නැහැ ඒ තියා සමහරු මාර්ටින් වික්රමසිංහව දන්නෙත් නැහැ.

ළඟදි මගේ විදේශිය මිතුරෙක් හරි වටිනා අදහසක් ලියලා තිබුණා. කෙනෙක් රෑ කෑමෙන් පස්සෙ සාමාන්‍යයෙන් විනාඩි 30කට වැඩිය විවේකීව ඉන්නවා. දැන් නම් පැය ගණන් මෙගා නාට්‍ය බලනවා. ඒ කොහොම වුණත් දවසකට පොතක් කියවන්න විනාඩි 15ක් හොයා ගන්න කෙනෙක්ට අමාරු නැහැනෙ. දවසකට විනාඩි 15 ගාණෙ කියෙවුවොත් අවුරුද්දකදි පොත් 15ක් විතර කියවන්න පුලුවන්. ඒ වගේ අවුරුදු පහක් විනාඩි 15 ගාණෙ දිනපතා කියෙව්වොත්, පොත් හැත්තෑ පහක් කියවලා අවසන් කරන්න පුලුවන්. මේ විදියට වටිනා ලෝක සාහිත්‍ය කෘති හැත්තෑ පහක් කියෙව්වොත්, ඔබට වසර පහකින් රටේ ඉන්න දැන උගත් වියත් උගතෙක් බවට ඉබේම පත් වෙන්න පුලුවන්කම ලැබෙනවා. බොහෝ යුරෝපීය ජාතිකයන්ට හොඳ සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඒකෙ ප්රධානම රහස තමයි, නිතර යමක් කියවීම.

මට විනාඩි 15කුයි, සාහිත්‍ය කෘතියි හොයා ගන්න පුලුවන් නිසා වැඩේ පටන් ගන්න හිතං ඉන්නවා. ඒත් ඒකට බාලගිරි දෝසේ.

මාව ආදර්ශෙට ගන්නෙ නැතිව, ඔයගොල්ලො ‍වැ‍ඩේ පටන් ගන්නකෝ. . .

No comments:

Post a Comment